gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති රනිල්ගේ විදෙස් සංචාර වියදම් ගැන පරීක්ෂණ: BBC සිංහල තොරතුරු ඉල්ලීමෙන් හෙළි වූ කරුණු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජූනි 24 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පිළිබඳව බීබීසී සිංහල කළ විමසීමකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එවැනි පරීක්ෂණයක් සම්බන්ධයෙන් මේ වන විට විමසීමක් කර වාර්තාවක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වාර්තාව එවූ පසු වැඩිදුර විස්තර ලබා දීමට හැකි බව ඔහු පැවසුවේ ය.

‘2005 – 2021 වර්ෂවල විදෙස් සංචාරවල තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයේ නෑ’

මා විසින් පසුගිය පෙබරවාරි 28 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලීමක් කරනු ලැබුවේ 2005 -2025 වසර 20ක කාල වකවානුව තුළ බලයේ සිටි ජනාධිපතිවරුන් යෙදුණු විදෙස් සංචාර, ඒවාට වියදම් කර ඇති මුදල සහ ඒවාට සම්බන්ධ වූ දූත මණ්ඩලවල තොරතුරු විමසමිනි.

එලෙස පෙබරවාරි මස යොමු කළ තොරතුරු ඉල්ලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මැයි 16 වන දින පිළිතුරක් ඒවා ඇති අතර, “2005 – 2021 වර්ෂවල අදාළ ලිපිගොනු හා ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බැවින්” හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාරවල තොරතුරු වෙන් වෙන් වශයෙන් ලබා දීමට නොහැකි බව එමගින් දන්වා එවා තිබේ.

ඉන් පෙනී යන්නේ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා බලයේ සිටි සම්පූර්ණ කාලය තුළ සිදුකර ඇති විදෙස් සංචාරවල තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 සිට 2021 දක්වා සහභාගී වූ විදේශ සංචාරවල ලිපි ලේඛන ද ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නොමැති බව ය.

ඒ අනුව, මා විසින් කරන ලද තොරතුරු ඉල්ලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු එවා තිබෙන්නේ “රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් ලබා ගන්නා ලද භාණ්ඩාගාර මුද්‍රිත සටහන් අනුව… ජනාධිපති වැය ශිර්ෂ යටතේ හෙළි වී ඇති වියදම්” ය.

ඔවුන් දන්වා එවා ඇති ආකාරයට මේවා සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක ය.

හිටපු ජනපති රනිල්ගේ සංචාර 23කට මිලියන 600කට වැඩි වියදමක්

2022 වසරේ ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර 23කට සහභාගී වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳව තොරතුරු පරීක්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බවට තොරතුරු ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයේ සඳහන් වේ.

එක් එක් වර්ෂයේ ඔහුගේ විදේශ සංචාර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ වැය වී ඇති වියදම් පහත පරිදි ය.

‘2022 – 2024 දක්වා විදෙස් ගමන් සඳහා බිලියනයක් වැය කරලා’

පසුගිය මැයි 8 වන දින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, 2022 සිට 2024 දක්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස සහභාගී වූ සංචාර සඳහා රුපියල් බිලියනයකට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව ය.

ඒ අනුව, ඔහු විසින් ඉදිපත් කරන ලද තොරතුරු පහත පරිදි ය.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ නොවූ නමුත් ඔහු නියෝජනය කරමින් නියෝජිතයන් සම්බන්ධ වූ විදෙස් සංචාර 19ක් සඳහා ද මෙම කාල වකවානුව තුළ මුදල් වියදම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ය.

එම මුදල රුපියල් මිලියන 19.8ක් බව පැවසූ ඔහු, ඒ අනුව සියලු සංචාර සඳහා වියදම් කර ඇති මුදල රු. බිලියන 1.027ක් බව ප්‍රකාශ කළේ ය.

වැඩි ම වියදම් 2013දී

පසුගිය වසර 20ක කාලය සම්බන්ධයෙන් ලබා දී ඇති තොරතුරුවලට විදෙස් සංචාර සඳහා වැඩි ම වියදම් සිදුව ඇති වසර වන්නේ 2013 වසර වන අතර එම වසරේදී වැය කර ඇති මුදල රු. බිලියන 1.144කි. 2005 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට 2015 ජනවාරි දක්වා බලයේ සිටි ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ පමණක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.76කට අධික මුදලක් වැය කර තිබේ.

වසර 10කට ආසන්න පාලන කාලය තුළ වියදම් වී ඇති එම මුදල සාමාන්‍යයක් වශයෙන් වසරකට මිලියන 400කටත් වඩා වැඩි මුදලක් වන අතර සාපේක්ෂව 2015න් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ වසර 5ක ධුර කාලය තුළ ම විදෙස් සංචාර සඳහා වැය කර ඇත්තේ රු. මිලියන 400කට අඩු මුදලකි.

වත්මන් ජනාධිපතිවරයාගේ වියදම්

මාගේ තොරතුරු ඉල්ලීමේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විදෙස් සංචාරවල වියදම් සම්බන්ධයෙන් ද විමසා තිබූ අතර, එම තොරතුරු ඉල්ලීම සිදුකළ පෙබරවාරි මාසය වන විට ඔහු ඉන්දියාවේ, චීනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාර සඳහා සහභාගී වී තිබිණි.

ඒ සඳහා ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැය වී තිබූ මුදල රු. මිලියන 2.3ක් ලෙස දක්වා තිබේ.

එයින් ඉන්දියානු සංචාරය සඳහා පමණක් ජනාධිපති වැය ශීර්ෂය යටතේ ගුවන් ටිකට්පත් මිල දී ගෙන තිබේ.

එම මුදල රු. 554,350කි.

තොරතුරු ඉල්ලීමේ මෙම ගමන් සඳහා සම්බන්ධ වූ නිලධාරීන් පිළිබඳ විස්තර ද ඉල්ලා සිටි නමුත් ඒවා ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka