එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ තම පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නැයි මහා සංඝ රත්නයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අයැද සිටින බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බවයි.
මෙය ආගමික නායකයින් ද දේශපාලන මඩ ගැසීම්වලට ඇද දැමීමට දරන උත්සහයක් බවට ඔහු පවසයි.
තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහානායක හිමිවරුන්ගේ සහාය පතන බවට අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීමට තරම් ජාතික ජන බලවේග ආණ්ඩුව පහතට වැටී ඇතැයි එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළා.
මෙය ගරුතර මහා සංඝ රත්නයට සිදු කෙරෙන බරපතල අගෞරවයක් බවයි එමගින් ඔහු පෙන්වා දෙන්නේ.
තම පවුලේ සාමාජිකයන් මේ සඳහා ව්‍යාජ ලෙස පටලවා ගැනීමට ආණ්ඩුව පොලිසිය සහ අධිකරණය පවා දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන ආකාරය මෙහිදී පැහැදිලි වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
තමන් සහ තම පවුලේ සාමාජිකයින් නිරන්තරයෙන් දේශපාලනික වශයෙන් පරීක්ෂණවලට බියෙන් තොරව මුහුණ දී ඇති අතර, ඒ සඳහා විශේෂ සැලකිල්ලක් හෝ අනුග්‍රහයක් අපේක්ෂා නොකරන බවත් ඔහු පවසනවා.
රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි තමන් පූර්ණ විශ්වාසය තබා සිටින බවයි මන්ත්‍රිවරයා තැබූ එක්ස් සටහනේ දැක්වෙන්නේ.
ඒ අනුව ව්‍යාජ ප්‍රචාරණ, චරිත ඝාතන සහ නීතිය දේශපාලනීකරණය කිරීම යන උපක්‍රම තුළින් ජාතික ජන බලවේගය ඔවුන්ගේ නොහැකියාවන් සහ අසාර්ථක බව වසා ගැනීමට උත්සහ දරන්නේ ඔවුන් මංමුලාවී සිටීම හේතුවෙන් බවද එහි තවදුරටත් සඳහන්.