මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිකරුවෙකුට තර්ජනය කොට කටඋත්තරය වෙනස් කිරීමට අදාල නඩුව විභාගයට ගත් අවස්ථාවේ දැනට හමුදා බුද්ධි අංශවල සේවය කරන විජේදාස නොහොත් මොහොමඩ් නම් නිලධාරියෙකු සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාලව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂිකරුවෙකු වන, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශයේ සේවය කර පසුව හමුදා බුද්ධි අංශය සමඟ එක්ව සේවය කළ, පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන මුරලි හෙවත් සුමතිපාල සුරේෂ්කුමාර්ටගේ සාක්ෂිය වෙනස් කිරීම සඳහා එම සැකකරු මරණ තර්ජන එල්ල කර ඇතැයි චෝදනා එල්ල කෙරුණා.
ජුනි 25 වැනිදා වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ පොලිස් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක සුබෝධ මහතා, අතිරේක විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින්, විජේදාස නොහොත් මොහොමඩ් යන නමින් හඳුන්වන එම හමුදා බුද්ධි අංශයේ නිලධාරියාව දෙවැනි සැකකරු ලෙස නම් කරන බව දැනුම් දුන් අතර ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් ජීවරාණි කරුප්පයියා මහත්මිය ඊට අවසර ලබා දුන්නා.
සාක්ෂිකරුට තර්ජනය කිරීමට අදාල මෙම නඩුවේ පළමු සැකකරු වන්නේ කිරින්දවෙල හමුදා බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරිව සිටි බ්‍රිගේඩියර් සම්මි අර්ජුන කුමාරරත්න යන අයයි.
ඔහු එක්නැලිගොඩ සිද්ධියේ පළමු විත්තිකරුද වනවා. ඔහුව ජුනි 25 දිනයේදීද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙදින මෙම නඩු විභාගය සඳහා නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියා.
පළමු සැකකරු වන බ්‍රිගේඩියර් ෂම්මි අර්ජුන කුමාරරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සමඟ නීතිඥවරුන් වන රසික පාලසූරිය සහ අසිත් සිරිවර්ධන යන මහත්වරුන් පෙනී සිටියා.
මීට අමතරව මුරලි නොහොත් සුමතිපාල සුරේෂ්කුමාර්ට ග්‍රාම සේවා සහතිකයක් ලබා දුන් හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පැවසුවා. ඒ අනුව මංජුල නමින් හැඳින්වෙන එම සැරයන් මේජර්වරයාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ඔහු ඉල්ලීම් කළා. අධිකරණය ඊට අවසර ලබා දුන්නා.
එමෙන්ම ෂම්මි කුමාරරත්න සම්බන්ධයෙන් සිදුවන දුරකථන පාදක කරගත් විමර්ශන තවදුරටත් සිදුවන බව පොලිසිය සඳහන් කළා.
මෙහිදී පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ පොලිස් විමර්ශනවල කිසිදු ප්‍රගතියක් නොමැති බවත්, එකම කරුණු පිටපත් කර අතිරේක වාර්තා ලෙස ඉදිරිපත් කරන බවත්.
කෙසේ වෙතත්, මහේස්ත්‍රාත් ජීවරාණි කරුප්පයියා මහත්මිය සඳහන් කළේ, පොලිස් විමර්ශනවල සැලකිය යුතු ප්‍රගතියක් තමන් නිරීක්ෂණය කරන බවත්, ප්‍රගතියක් නොමැති යැයි කිව නොහැකි බවත්. අතිරේක විමර්ශන වාර්තා කියවන විට එය තමන්ට පැහැදිලි වන බව ඇය ප්‍රකාශ කළා.
මෙහිදී පළමු සැකකරුට ඇප ලබාදීමට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා විරෝධය පළ කළා. එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය විමර්ශනය කරන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම නඩුවේ පළමු සැකකරුට ඇප ලබා දෙන්නේ නම්, වහාම එහි ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බව පෙන්වා දුන්නා.
මෙම කරුණු සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත් කරුප්පයියා ජීවරාණි මහත්මිය, එක්නැලිගොඩ සිද්ධියේ පළමු විත්තිකරු සහ සාක්ෂිකරුට තර්ජනය කිරීමේ සිද්ධියේ පළමු සැකකරු වන කිරින්දවෙල හමුදා බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරිව සිටි බ්‍රිගේඩියර් සම්මි අර්ජුන කුමාරරත්න මහතාව ලබන ජූලි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.