විවිධ දූෂණ චෝදනාවට ලක් වූ දේශපාලඥයන් ඔවුන්ගේ ඥාතීන් සහ රජයේ නිලධාරීන් පිරිසක් රටින් පැනයාමේ සූදානමක් පිළිබඳව බුද්ධි අංශ මාර්ගයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් රජය එම උත්සාහය වැළැක්වීමට ගුවන් තොටුපොළ ඇතුළු අදාළ අංශවලට දැනටමත් අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි වාර්තාවේ.
දිගින් දිගටම දූෂණ චෝදනාවලට ලක් වූ දේශපාලඥයන් අත්අඩංගුවට පත්වීම හේතුවෙන් දේශපාලනඥයන් විදේශයන්ට පලා යෑම වේගවත් විය හැකි බව ආරක්ෂක අංශ ප්‍රධානීහු අනුමාන කරති.
එමෙන්ම බුද්ධි අංශ වෙත අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙවැනි විවිධ වංචනික පුද්ගලයන්ට සහ පාතාලකරුවන්ට රටින් පැන යෑමට උදව් කරන බෝට්ටුකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ අතර හිටපු ඇමතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් විස්සකට ආසන්න පිරිසක් ඉදිරි දිනවල අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
අල්ලස් ගැනීම, දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් පිළිබඳ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට නියමිතය. දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධ විමර්ශන මේ දිනවල කාර්යක්ෂම ලෙස කෙරෙමින් පවතින බව එම කොමිෂන් සභාව පවසයි.
විවිධ දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් කිහිප දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා පසුගිය දිනවල ප්‍රශ්න කර ඇත. තවත් දේශපාලඥයන් කිහිපදෙනෙකුට ඉදිරි දිනවල කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම එම කොමිෂන් සභාව වේගවත් කර ඇති බවත් එම සිද්ධීන් සම්බන්ධ සාක්ෂි ගොනුකර ගැනීම අවසන් කළ වහාම අත්අඩංගුවට ගැනීම් කරන බවත් අල්ලස් කොමිසම පවසයි.
ඇතැම් ආයතනවල නිලධාරීන් හෝ සේවකයන් සාමූහිකව එකතු වී අල්ලස් ගැනීම් (අල්ලස් පොකුරු) වැඩි වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන්ද දැඩි සීරුවෙන් සිටින බව එම කොමිසමේ නිලධාරීහු පවසති.
