ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය අයිතම වෛද්‍ය සැපයුම් අංශයෙන් රෝහලවෙත ලබාගෙන රුපියල් 17500කට රෝගීන්ට ලබා දිය හැකි පසුබිමක එම අයිතම වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර තමන් විසින් පාලනය වන බාහිර ආයතනයකින් තමන් ප්‍රතිකාර කරන රෝගීන්ට රුපියල් එක් ලක්ෂ විසි දහසේ සිට දෙලක්ෂ ලක්ෂ පනස් දහසක් දක්වා මිලකට අලෙවි කළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක සහ ඇයගේ ජාවාරමට සහාය දුන් එම රෝහලේ කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද (17) අත් අඩංගුවට ගනු ලැබුවේය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තමන් යටතේ ප්‍රතිකාර ගන්නා රෝගීන් වෙත මේ මිල ගණන්වලට ඇය අදාල අයිතම අලෙවි කර තිබුණේ බාහිර වෙළෙඳපලෙන් රුපියල් හතලිස් හය දහසක් වැනි මිලකට ඒවා ලබා ගත හැකිව තිබෙද්දීය.
විශේෂඥ වෛද්‍යවරියකට නොතරම් වූ මෙම නින්දිත ජාවාරම සිදුකරමින් සිටිය දී අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂී සුරසිංහ විජේරත්න සහ ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ කළමනාකාර සහකාරවරයෙක් වූ කැකුලන්දල ලියනගේ ඉන්දික නැමැති අය ය.
මේ දෙදෙනාට අමතරව ඉහත විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය අනීතිකව පවත්වා ගෙන යමින් මේ ඖෂධ ජාවාරම කළ පුද්ගලික ආයතනයේ සේවකයෙක් වූ කඩවත ප්‍රදේශයේ පදිංචි මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ නැමැත්ති පුද්ගලයෙක් ද අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුව ගෙන තිබේ.
ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD සහ VP SHUNT යන අයිතම, වාර්ෂික රෝහලේ වෛද්‍ය උපකරණ ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහල් කාර්යය මණ්ඩලය හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මඟින් එම අයිතම ලබා ගැනීම සඳහා උපදෙස් ලබාදීමෙන් රෝගී පාර්ශවයට පාඩුවක් හා තමාට හෝ බාහිර පාර්ශවයන්ට අයුතු සහගත ලාභයක් ලබා ගැනීම මෙන්ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මඟින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම සම්බන්ධව දූෂණය නම් වරද සිදුකිරීම පිළිබඳව උක්ත විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහි දී EVD යන අයිතමය 2022 වර්ෂයේ දී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රු. 17,500/- ක් පමණක් විය. නමුත් එහි සාමාන්‍ය වර්තමාන වෙළඳ පොළ මිල රු.46,500/- ක් පමණ වේ. අදාළ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලබන බාහිර පාර්ශ්වයන් මගින් රෝගීන් මෙම අයිතමය ලබා ගැනීමේ දී රු 120,000/- සිට රු.250,000/- පමණ වන වටිනාකම් ඒ සඳහා දැරීමට සිදු වී ඇත.
මේ වන විට මෙලෙස ශල්‍ය කර්මයන්ට භාජනය වූ 300ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර, එයින් 77 දෙනෙකුගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන ඇත.
ශල්‍යකරම වලට භාජනය වූ ඉහත පිරිසෙන් සැලකිය යුතු රෝගීන් පිරිසක් මියගොස් ද ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත. එම ප්‍රකාශ සටහන් කරගත් පිරිසට අදාළව (රෝගීන්ට) රුපියල් කෝටි තුනකට ආසන්න පාඩුවක් සිදු වී ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
-lankasara