ජාතික ජන බලවේගයේ මැයි දිනයට පැමිණි පිරිසක් බස් රථ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නවත්වා අධිවේගී මාර්ගයේ නීති උල්ලංඝණය කළ පිරිසට පමණක් නොව, නොව එම අවස්ථාවේ එම සිද්ධිය නිරීක්ෂණය කරමින් සිටි පොලිස් නිලධාරීනට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.
ඔහු අවධාරණය කළේ මේ අකාරයෙන් කටයුතු සිදුවිය යුතු නැති බවය. මේ වනවිට එම බස් රථ ලේඛනය සහ එම බස් රථ භාරව සිටි සංවිධායකවරුන්ගේ ලයිස්තුවක් තමන් ගෙන්වාගෙන ඇති බවත් රටේ නීතියට අනුව ඒ ගැන කටයුතු කරනවා පමණක් නොව පක්ෂය තුළත් මේ පිරිස සම්බන්ධව සාකච්ඡා කර අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා සහතික වුනේය.
ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදුකලේ දෙරණ 360 දේශපාලන වැඩසටහනට එක් වෙමිනි. වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ පොලිසිය බලා සිටිය දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරමින් මේ සිදුකළේ කුමක් ද යන්නත් රජය පොරොන්දු වූ සිස්ටම් චේන්ජ් එක දැන් කොතැනක ද යන්නත් විමසූ විට ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ වැරැද්දක් වී ඇති බවත් වැරැද්දට නීතියෙන් කටයුතු කරන බවත්ය.
ජනාධිපතිවරයා සිද්ධිය පැහැදිලි කළේ මෙසේය.
මම මේ සිද්ධිය සාධාරණය කියනවා නෙමයි. මම බැලුවා මේ ප්‍රශ්නය මතුවෙලා තියන විදිහ. ඒගොල්ල දුර ඉඳන් එන අය. අපි ඒ අයට කියලා තියෙන්නේ සූදානම් වෙලා මැයි දින රැළියට එන්න. මෙතන ඇවිත් කෑම කන්න ලෑස්ති වෙන්න එපා කියලා.
මේ වාහන ගැන මම බැලුවා. මාතරට කතා කළා. හම්බන්තොටට කතා කළා. මොනරාගලට කතා කළා. බදුල්ල සහ අම්පාරට මම කතා කළා ඊයේ රෑ… කතා කරලා මම කිව්වා කවුද බස්, කවුද ඒකේ හිටපු සංවිධායකයා කියලා මට කියන්න කියලා.
එතන වෙලා තියන දේ තමයි වාහන නතර කරන තැන යම් ඉඩ ප්‍රමාණයක් තියනවනේ. ඒ ඉඩ ප්‍රමාණය ඇතුළෙ හිර වෙනවා. ඒ ගොල්ල ටාර්ගට් කරගෙන එන්නෙ මෙතන තමයි ආහාර පාන අරන් සුදානම් වෙන්නේ කියලා. එක් පැත්තකින් ආපු වාහන ඇතුළු කරගන්න ඒ ගොල්ල පාරේ ඉන්නවා. මෙතනින් එලියට ගියපු අය මේ පාරේ ඉන්නවා.
වැරදියි… ඉතාම වැරදියි. ඒ වගේම ඒක බලාගෙන ඉඳලා ඒකට එහෙම ඉඩ දුන්නා නම් පොලිසියත් වැරදියි… දෙගොල්ලන්ටම විනය ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම වැඩ කරන්න බෑ.
මාධ්‍යවේදියා – කා සම්බන්ධව ද විනය ක්‍රියා මාර්ග ගන්නේ.
ජනාධිපතිවරයා – විනය ක්‍රියාමාර්ග ගන්න ඕන එකක් බලන් හිටපු පොලිසියට. අනෙක් පැත්තෙන් බස් නතර කරපු රියදුරන්. අනෙක් පැත්තෙන් ඒකට සහයෝගය දීපු කණ්ඩායම්. මේවට විනය ක්‍රියාමාර්ග ගන්න ඕන. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන.
මාධ්‍යවේදියා – එතන මාලිමාවේ ක්‍රියාකාරින් ඉන්නවා නේ?
ජනාධිපතිවරයා – ඒක පක්ෂ ඇ.තුළෙ වැඩක් යන්නේ. ඒක අපි භාරගන්න ඕන කොටසනේ. මම පක්ෂ සංවිධායකයෙක්. ඒ නිසා තමයි මම කිව්වේ මේ ගොල්ලන්ගේ ලයිස්තුව මට දෙන්න කියලා. මොකද හැම බස් එකකටම සංවිධායක සහෝදරයෙක් ඉන්නවා. මම ඒ ගොල්ලන්ගේ නාම ලේඛණය එවන්න කියලා තියෙන්නෙ. මොකද ඒක සිදුනොවිය යුතු සිද්ධියක්. එතන තදබදය මට තේරෙනවා. නමුත් පොදු නිතියක් තියනවා.
මාධ්‍යවේදියා – අද ජනාධිපතිවරයා සමග කරන මේ සංවාදයෙන් පස්සේ ඉදිරියේ දි විනිවිද භාවයෙන් මේක කරන්න ක්‍රියාමාර්ග අරන් ඔබතුමා ඒක මාධ්‍ය එක්ක කතා කරනව ද?
ජනාධිපතිවරයා – අනිවාර්යයෙන්ම කතා කරනවා.
-lankasara