වසර එක හමාරකට අධික කාලයකට පෙර එනම්, 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ලැබ ඇති 'හරක් කටා' හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න බදාදා (මැයි 14) කොළඹ මහාධිකරණයෙන් පිටව යද්දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ ය.
ඔහු අධිකරණය වෙත රැගෙන යද්දී එහි සිටි මාධ්‍යවේදීන්ගෙන් එක් අයෙකු "ඔබතුමාට මොනව හරි කියන්න තියෙනව ද?" යනුවෙන් විමසීය.
එහිදී ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් "කියන්න දේවල් ගොඩක් තියෙනව. එනකොට කියන්නම්," යනුවෙන් පවසා මාධ්‍යවේදීන් පසුකර ගියේ ය.
හරක් කටා පැවසුවේ කුමක් ද?
අධිකරණයෙන් පිටතට පැමිණෙද්දී ඔහු මාධ්‍යවේදීන් අසලට පැමිණ පහත සඳහන් ප්‍රකාශය කළේ ය.
"කෝටියක් විතර වියදම් කරල මාව තංගල්ලෙ තියාගෙන ඉන්නෙ ටිරාන් අලස්ට යි, දේශබන්දු තෙන්නකෝන්ට යි කෝටි 30ක් දුන්නෙ නැති එකට."
මේ ප්‍රකාශය හරහා ඔහු නිශ්චිතව අදහස් කළේ කුමක් ද? යන්න පැහැදිලි කිරීමක් කළේ නැත.
වසර එක හමාරකට පෙර ටිරාන් අලස් කී කතාව
ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍ය ධූරය දැරූ සමයේ එනම්, 2023 නොවැම්බර් 04 වන දා හරක් කටා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේ ය.
ඔහු එහිදී පැවසුවේ, හරක් කටා ශ්‍රී ලංකාවට රැගෙන ඒම වැළැක්වීම සඳහා ඔහුට රුපියල් මිලියන 700ක් ලබා දීමට උත්සහ කළ බව ය.
"හරක් කටාව ගේනකොට මට මිලියන 700ක් ඔෆර් කෙරුව මෙහෙට ගේන්නෙ නැතුව ඩුබායිවලට අරින්න කියල. කොහොම හරි ඒක වැඩිදුර යන්න වුණේ නෑ. ඔෆර් එක දුන්න කෙනා වෙඩි කෑවා."
"ඒගොල්ලො ලෑස්තියි ලොකු ලොක්කන්ට මිලියන ගණන් හරි දීල මාව ඇමතිකමෙන් අයින් කර ගන්න."
මේ අතර, එහිදී එවකට වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ, "අපරාධකාරයො එක්ක බුදිය ගත්තොත් බල්ලොත් එක්ක බුදිය ගත්ත හා සමානයි. අන්තිමට කෑවෝ කෑවෝ කියල මට පාතාලෙන් තර්ජන තියෙනව කියල බොරු පැමිණිලි දානවා," යනුවෙනි.
'අවුරුදු එක හමාරක් නොකියපු දෙයක් දැන් කියන්නේ ඇයි?'
හරක් කටා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ටිරාන් අලස්ගේ අදහස් විමසීම සඳහා බීබීසී සිංහල සේවය උත්සහ කළ අතර, හිටපු ඇමතිවරයාගේ ද අනුදැනුම මත ඔහුගේ සමීපතමයෙක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
එහිදී, ඔහු අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඔස්සේ ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය.
"මිලියන 700 කතාව හිටපු ඇමතිතුමා කිව්වෙ 2023 නොවැම්බර් 04 වෙනි දා. දැන් අවුරුදු එක හමාරක් ගිහිල්ල ඒගොල්ලො කවුරුත් ඒක ඩිනයි කරල නෑ."
"අනිත් එක මෙයාව තංගල්ලට දාල තියෙන්නෙ අරක්ෂක ලේකම්ගෙ නියෝගයේ පේපර්ස් එක්ක හයි කෝට් එකට දාල, හයිකෝට් ඕඩර් එකක් උඩ තමයි තංගල්ලෙ ඉන්නෙ. නැතුව හිටපු ඇමතිතුමා දාපු එකක් නෙවෙයි. එතකොට හයි කෝට් ඕඩර් එකක් උඩ තංගල්ලෙ ඉන්නෙ.
"දැන් තංගල්ලෙ අවුරුද්දක් විතර වෙනවා. ඇමතිතුමා තනතුරුවලින් ගිහිල්ලත් මාස 7ක් වෙනවා. එතකොට එයා ඒ අවුරුද්ද ඇතුළත උසාවි ඇවිල්ල තියෙනව කීප වතාවක්. ඒ එක වතාවකවත් ඔය කතාව කියල නෑ, ඊයෙ වෙනකම්."
"ඊයෙ ඒ වීඩියෝ එක බැලුවොත් හොඳට ම පේනවා, PTA එක යටතේ ඉන්න ත්‍රස්තවාදියෙක් තමයි උසාවි ගේන්නෙ. STF අරව මේව ඔක්කොම යොදවල තියෙනව. හැබැයි පඩිපෙළෙන් බහිනකොට හොඳට ම පේනව ඉස්සරහ කවුරුත් නෑ. මෙයාට ෆුල් ඕපන් කරල දෙනව මීඩියා එකට කතා කරන්න. ඉන් එහාට ගිහිල්ල මෙයාව වෑන් එකට දැම්මට පස්සෙ වෑන් එකේ ෂටර් එකත් ඇරල දෙනව මීඩියා එකට කතා කරන්න."
"එතකොට ඕන ගොනෙකුට තේරෙනව මේක සෙටප් කරල කවුරුහරි මෙයා ලව්ව මේක කියෙව්ව කියල."
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ පාර්ශවය නගන චෝදනා සම්බන්ධයෙන් පොලිසියේ ප්‍රතිචාරය ලබා ගැනීමට අපි දැඩි උත්සහයක් දැරුවෙමු.
එහිදී, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සම්බන්ධ කර ගැනීමට උත්සහ කළෙමු.
මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට ඇමතීමට කිහිප වරක් උත්සහ කළ ද ඔවුන් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
මේ අතර, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සම්බන්ධ කර ගැනීමට හැකි වුව ද, ඔහු ප්‍රකාශ කළේ, තමන් අදාළ වීඩියෝව නොදුටු හෙයින් ඒ පිළිබඳව අදහස් දැක්වීමට නොහැකි බව ය.
අධිකරණය කළ නියෝගය
'හරක් කටා' නමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරිවරයකු ලවා පරීක්ෂා කර ඔහු යම් රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ ද? යන්න පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට බදාදා (මැයි 14) නියම කළේ ය.
රෝගී තත්ත්වයන් කිහිපයකින් පෙළෙන තමාට නිසි ප්‍රතිකාර නොලැබෙන බවත් තමාට ප්‍රතිකාර ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව මිස වෛද්‍ය නිර්දේශ අනුව නොවන බවත් 'හරක් කටා' එහිදී පවසා තිබිණි.
එය සලකා බලමින් අදාළ වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස අධිකරණය නියෝග කළේ ය.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස් නිලධාරීන්ට පහර දී කුමන්ත්‍රණකාරීව පළා යාමට තැත් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන 'හරක් කටා' හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්නට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී එම නියෝගය කෙරිණි.
එම නඩුව ලබන 28 වන දා යළි කැඳවීමට ද නියම කළේ ය.
(සටහන | කුමුදු ජයවර්ධන)
උපුටා ගැනීම - BBC සිංහල සේවය