පසුගිය දා රම්බොඩ, ගැරඬිඇල්ලේදී සිදුවුණ බස් රථ අනතුර මෙරට මෑත කාලයේ මුහුණ දුන් බරපතළම ඛේදවාචකයකි. ඒ අතර මව්වරුන්ගේ දිනය දා සිය දියණිය වෙනුවෙන් දිවියේ අන්තිම හුස්ම රැකගත් මවගේ සංවේදී දසුන් සැම සිත් කම්පා කරවීය.
ඒ අතර වාර්තා වන තවත් පුවතක් වන්නේ, සිය දරුවෙකු නොවෙතත් තමා බරපතළ තුවාල වී සිටියදීත් දරුවෙකුට රැකවරණය සැලසූ සරසවි දියණියක් පිළිබඳවයි.
වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවියක වන නිෂානි නාමල් රත්නායකද අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගියෙකු ලෙස සිටි අයෙකි. මේ ඇය කියන කතාවයි.
මම බස් එකේ මැද හරියේ වාඩිවෙලා හිටියේ. එකවරම බස් එක ඇලවෙලා පෙරළෙන්න ගත්තා. රවුම් දෙකක් විතර යනකොට මම විසිවෙලා ගියා. ඊට පස්සේ යකඩ ගොඩකට හිර වුණා. මගේ ඔළුව වදියි කියලා මම ගුලි වෙලා ඔළුව පහළට හරවාගෙන හිටියේ.
බස් එක පෙරළිලා නතර වුණාට පස්සේ මම නැගිටින්න උත්සාහ කළා. මගෙ ඇඟම හිරි වැටිලා. අත උස්සන්න බැරි වුණා. මගෙ දකුණු අත නිකම් පැද්දෙනවා වගෙ දැනුණා. වම් අත තියලා බඩගාගෙන බස් එකේ ඉස්සරහට ඇවිත් තහඩුවක් ගැලවුණු තැනකින් එළියට ආවා. එතකොට බස් එකේ හිටි කෙනෙක් පොඩි ළමයෙක් උස්සගෙන ආවා. අයිතිකාරයෙක් නෑ. මගෙ අත ගැලවිලා අත උස්සන්න බෑ. බිම වාඩි වුණා. ළමයා මගෙ උකුළෙන් තියා ගත්තා. වම් අතින් දරුවා තුරුළු කරගෙන සීතලෙන් ආරක්ෂා කරගෙන පොලිසිය එනතුරු සිටියා.
දුෂ්කර ම අවස්ථාවල අනුන් වෙනුවෙන් පෙනී සිට කටයුතු කිරීම යනු වීරත්වයයි. මනුෂ්‍යත්වය රැඳෙන්නේ එවැනි මොහොතවලයි.
තොරතුරු දිවයින පුවත්පතෙනි