තමන් වෙත ආසන සංවිධායක ධූරය ලබා දුන් බණ්ඩාරවෙල ආසනය ජනාධිපතිවරණ දෙකකදී , මහ මැතිවරණ දෙකකදී, ප්‍රාදේශීය සභා මැතවරණ දෙකකදී පරාජයට පත් වූ පසුත් පැරදි පැරදී එක තැන නොසිට නායකයෙක් ලෙස තමන් දිය යුතු ආදර්ශය ඉල්ලා අස්වීම බවත් චමින්ද විජේසිරි ඒ ආදර්ශය කාට උවද ලබා දී ඇති බවත් සජබ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරය දැරූ චමින්ද විජේසිරි අද (27) ප්‍රකාශ කළේය.
තමන් සජබ ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වූ හේතුව පිළිබඳ මාධ්‍යයට කරුණු දක්වමින් ඔහු මෙම ප්‍රකාශ කළේ මාදිවෙල සිය නිල නිවාසයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමිනි. පක්ෂය තුළ දියත් වී ඇති සම්ප්‍රදාය දැඩි ලෙස විවේචනය කළ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
“මේ පක්ෂය තමන්ගේ පවුලේ පක්ෂයක් නෙමෙයි. මේ පක්ෂය පවුල් පෝෂණයවන පක්ෂයක් නොවෙයි. මේ පක්ෂය පවුලේ ජයග්‍රහණය වෙනුවෙන් සිටිය යුතු නෑ. පක්ෂය ජයග්‍රාහකයින් අවශ්‍ය වැඩපිළිවෙළ හදන්න පුලුවන් තෝතැන්නක් වෙන්න ඕන කියන කාරණය මා දකිනවා.”
“ඔබට මම නොකිව යුතු බොහෝ දේවල් තියනවා. සමහර වෙලාවට පක්ෂයේම සමහරුන්ගේ කණ්ඩායම් තුළ මේ ආසනය පරාජය කරන්න ඉතිහාසය සිට කටයුතු කළා. වර්තමානයෙත් සමගි ජන බලවේගය ඇතුළෙ ඉන්න සමහරුන්ට මේ බණ්ඩාරවෙල ආසනය හිතා මතා පරාද කරන්න අවශ්‍ය වෙලා තියනවා. මොකද අපි පවුල් වාදයේ දේශපාලනයෙන් ආවේ නෑ.”
සාකච්ඡාව අතර මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස පරාජය කළ බවත්, තමන් ජයග්‍රහණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ නායකයා ලෙස ඔහු අවබෝධ කරගත යුතු බවත්ය.
මන්ත්‍රීවරයා පැවසුවේ පලාත් පාලන නියෝජිතයින් බඳවා ගැනීමට පක්ෂ නායකත්වය සකස් කර ඇති නිර්ණායකවලට තමා එකඟ නැති බවය. ආසන සංවිධායකවරුන්ගෙන් බැහැර කඳවුරක් නිර්මාණය කරගැනීමට පක්ෂ නායකත්වය කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා කරුණු අනාවරණය කළේය.
“ගාල්ලේ අපේ බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා අස්වීම පිළිබඳව එතුමාගේ මාධ්‍ය සාකච්ඡාව මම දැක්කේ රටට නොගැලපෙන පලාත් පාලන ආයතනවලට නොගැලපෙන, එම පළාත් පාලන ආයතන සියල්ල අකර්මණ්‍ය කරන පළාත් පාලන ආයතන පනතට තවත් විකෘතියක් එකතු කරීමේ යෝජනාවක් පක්ෂය විසින් ගෙන ඇති බවයි. මා එය පුද්ගලිකව විශ්වාස කරනවා.”
“බණ්ඩාරිගොඩ ආසන සංවිධායකතුමාට වෙන වැඩපිළිවෙළකුත් තවත් එම දිස්ත්‍රික්කයේ වෙනත් කෙනෙකුට වෙනත් වැඩපිළිවෙළකුත් සිද්ධ වෙනවා නම් ඒ සංවිධායකවරුන්ට හැඳි දෙකකින් බෙදලා තියනවා. මා පෞද්ගලිකව නායකතුමා විසින් ඉදිරිපත් කරල තියන නිර්ණායකවලට වන්නේ නෑ.”
“නායකතුමා පත් කරලා තියනවා ආසන සංවිධාකවරයෙක්. ඔහුට කොළඹින් පාත් වෙච්ච, කාගෙන් හෝ නියෝජනය වෙච්ච වෙනත් පත්වීම්වලට යනකොට ඔහු සංවිධායකවරයාට පාලනය කරන්න බැරි වෙනවා. ඔහු සංවිධායකවරයාගේ අභිමතයෙන් බැහැර වෙනවා. එතකොට සංවිධායකවරයාගෙන් බැහැර වීමේ කඳවුරක් දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව පක්ෂයේ නායකත්වය විසින් හදනවා. ඒක දේශපාලනික උපක්‍රමයක් ද, දේශපාලන අවශ්‍යතාවයක් ද කියන කාරණය මට තාම තේරෙන්නේ නෑ.”
පහත දැක්වෙන්නේ චමින්ද විජේසිරි ගේ මාධ්‍ය සාකච්ඡාවේ කොටසකි.