කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බස් රථයක් අද අළුයම 4.30ට පමණ නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි. මිය ගිය පුද්ගලයින් අතර බස් රථයේ රියදුරු ද සිටින බව පොලිසිය කියයි. මරණ ගණන තවත් ඉහලයෑමේ අවදානමක් ඇති බව රෝහල් ආරංචි මර්ග පවසයි.
මළ සිරුරු 17ක් මේ වන විට කොත්මලේ ප්‍රාදේශීය රෝහල තුළ මේ වන විට තැන්පත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. එසේ තැන්පත් කර ඇති දේහයන් අතර අතර පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු සිටින බවද පැවසේ.
අනතුර සිදුවන අවස්ථාවේදී බස්රථයේ මගින් 75 දෙනෙක් පමණ ගමන් කර ඇති අතර තුවාලකරුවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහල , නුවරඑළිය දිස්ත්‍රික් රෝහල, හා ගම්පල හා නාවලපිටිය මූලික රෝහල් වෙත මුලින්ම ඇතුලත් කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ආ තුවාලක කරුවන් 17ක් ඇතුළත් කර ඇති අතර තුවාල කරුවන් අතර කුඩා ළමුන් දෙදෙනෙක් ද සිටින බව පැවසේ. එක් දරුවෙක් අවුරුද්දක් පමණ වයසැති අයෙක් බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇති තුවාලකරුවන්ගෙන් කීප දෙනෙකුගේ තත්තවය බරපතල බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න ලංකාසර කළ විමසුමකදි පැවසුවේය.
නාවලපිටිය මූලික රෝහල වෙත තුවාලකරුවන් 4 දෙනෙකු ඇතුළත් කර ඇති අතර ඉන් 3 දෙනෙකු පිරිමි පුද්ගලයින් බවද සදහන් වේ.
ගම්පල මූලික රෝහලට තුවාලකුරුවන් 27 දෙනෙකු ඇතුලත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසු වූ 7 දෙනෙකු පේරාදෙණිය රෝහල වෙත මාරු කර ඇත. අනතුරට හේතුව මෙතෙක් පැහැදිලි නැත.
-ශ්‍රියානි විජේසිංහ
-lankasara