2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එක් ප්‍රධාන අපරාධ නඩුවක් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අතර, එහි දී ප්‍රහාරය සම්බන්ධයෙන් ‘කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු ගොනු කර තිබේ.
එහි විත්තිකරුවන් ලෙස මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලව්, මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක්), හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා), මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබූ ෆලා), මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනදීන්( අබූ මිසාන්), අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස්, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි / අබූ ෆුර්කාන්) හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්), මොහොමඩ් ඉල්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබූ මොහොමඩ්), රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දින් (අබු හිනා), මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නන්ජියාර්), යාසින් බාවා අබ්දුල් රවුෆ්, රසික් රාසා හුසේන්, කච්චි මොහොමඩ් ජෙස්මින්, සෙයිනූල් ආදීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා), මොහොමඩ් අමින් අයන්තුල්ලා, මොහොමඩ් අක්රම් අහක්කම් යන අය නම් කර තිබේ.
එමෙන්ම පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ හානිය වෙනුවෙන් එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එවක අග්‍රාමාත්‍ය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එවක ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවක පොලිස්පති පූජිත් ජයසුන්දර, එවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින් 108 දෙනකු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනු කර තිබුණි.
කෙසේවෙතත් එම නඩුවල වග උත්තරකරුවකු ලෙස එවක අග්‍රමාත්‍යවරයා වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කර තිබුණ ද, ඔහු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි හෙයින් ඔහු මුදා හැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ප්‍රකාරව ජනාධිපති වරප්‍රසාද හරහා රනිල් වික්‍රමසිංහ එම නඩුවෙන් ඉවත් වුවද පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ඔහුටද බරපතල චෝදනාවන් එල්ල වී තිබේ.
මේ අතර, මීගමුව කටුවා පිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ හා වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ ඥාතීන් විසින් වන්දි ඉල්ලා නඩු 182ක් මීගමුව දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබුණේ, ඒවායේ විත්තිකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්තජයවර්ධන යන අය නම් කරමිනි.
තව ද එම ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම, මිනීමැරීම ඇතුළු චෝදනා 850 බැගින් එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ වෙන වෙන ම නඩු දෙකක් ගොනු කර තිබූ අතර, එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනා වලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය.
එසේ ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනු කෙරුණු අතර, එහි තීන්දු ඉකුත් වසරේ ජනවාරි මස 12 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර, එහි දී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්තජයවර්ධන විසින් රුපියල් මිලියන 75ක් බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් ද වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
මේ ආකාරයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩු අතර, වන්දි නඩු 290ක්, මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක්, ප්‍රධාන අපරාධ නඩු 3ක්, රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් නඩු 2ක් සහ වින්දිතයින් විසින් ගොනු කළ අපරාධ නඩු 1 ක් ද වශයෙන් ගොනු කර තිබේ.