යෝෂිත රාජපක්ෂ සහ බිරිය සමග නයිට් ක්ලබ් ගොස් ඇති වූ ප්‍රශ්නයේ දී එම නයිට් ක්ලබ් ආරක්ෂකයින්ට පහර දී සැඟවී සිටින සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.
දෙහිවල අත්තිඩිය සහ තිඹිරිගස්යාය ප්‍රදේශවල පදිංචි සැකකරුවන් මේ වනවිට සැඟවී පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
යුනියන් පෙදෙස පාර්ක් වීදියේ සමාජ ශාලාවේ මෙම ගැටුම හටගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය එම රාත්‍රී සමාජ ශාලාවට ඇතුළු වීමේදී ආරක්ෂක හේතු මත පළඳන අත් පළඳනාව පැළඳීම ප්‍රතික්ෂේප කිරීම හේතු කරගෙනය.
එහිදී බහින්බස් වීමක් ඇති වී තිබුණ අතර බහින් බස්වීම අතරතුරේ දී යෝෂිත රාජපක්ෂ සහ බිරිය එම ස්ථානයෙන් පිටවී ගිය ආකාරය සමාජ ශාලාවේ සීසීටීවී දර්ශනවලින් පැහැදිලිවම පෙනුණි.
අනතුරුව සිදුකළ පහරදීමේ දී ආරක්ෂක නිලධාරියෙක් තුවාල ලැබුවේය. සිද්ධිය සමතයකට පත් කරන්නේ සමාජ ශාලාව තුළ සිට පැමිණි කාන්තාවක් විසිනි. ඇය කලහකරුවන් තල්ලු කර දමා පළවා හැර රාජපක්ෂලාට බැණ වදිමින් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා රෝහල වෙත යොමු කරන ආකාරය ද සීසීටීවී දර්ශනවල සටහන්ව තිබිණි.
සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.