සහල් මාෆියාවේ නායකයා ඇමති වසන්ත සමරසිංහයි
සහල් මාෆියාවේ නායකයා ඇමති වසන්ත සමරසිංහ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ජනාධිපතිතුමා මේසයට ගහලා නාඩු කිලෝවක උපරිම මිල රුපියල් 230ට නියම කළත් ඊයේ වෙළඳපොලේ නාඩු කිලෝවක් අපි ගත්තේ රුපියල් 240ට. පසුගිය කන්නය කපන විට නාඩු කිලෝවක මිල රු170/-යි. එතකොට වී මිල දී ගත්තෙත් රුපියල් පහක වත් ලාභයක් තබා ගෙන විකුණන්නයි. එහෙම බලන විට රු230/- විකිණෙන විට මෝල්හිමියන්ට රු65/-ක ලාභයක් තිබෙනවා. එහෙම නම් ආණ්ඩුව සහල් ආනයනයෙන් බලාපොරොත්තු විය යුත්තේ සහල් මිල රු230/- සිට 170/- දක්වා පහත හෙලීමයි.
අතීතයේ දී ආණ්ඩු සහල් ආනයනය කරලා අඩු මිලට වෙළඳපොලට හඳුන්වා දීමෙන් තමයි මෝල්හිමියන් මට්ටු කරලා සහල් මිල පහත දැම්මේ. නමුත් මේ ආණ්ඩුව මොකද කලේ? ආනයනිත සහල් මත රු65/-ක බද්දක් දාලා ආනයනිත සහල් මිල දේශීය සහල් මිලට සමාන කලා. ඒකෙන් මේ අසාධාරණ සහල් මිල දිගින් දිගටම පවත්වා ගෙන යෑමට ආණ්ඩුවත් දායක වුණා.
රු65/- බද්දක් වෙනුවට රු45/- බද්දක් පැනෙව්වා නම් ආනයනිත සහල් කිලෝවක් රු210/-ට විකුණන්න පුළුවන් වෙනවා. ආනයනිත සහල් රු210/- ට වෙළඳපොලේ තිබිය දී තමන්ගේ ගැනුම්කරුවා රැක ගන්න නම් දේශීය සහල් ද රු 210/-ට හෝ ඒ ආසන්න මිලකට විකුණන්න වෙනවා. සහල් මිල රු210/-ට ආවාම ඊ ලඟ සහල් තොගයට අය කරන බද්ද රු 15/- දක්වා අඩු කරනවා. එතකොට සහල් මිල රු180/- දක්වා අඩු වෙනවා.
ජනතාවට බත් කන්න පුළුවන් මිලකට සහල් මිල පහත වැටෙනවා. අද සහල් මිල පහත වැටීමට තිබෙන ලොකුම බාධාව තමයි සහල් මත අය කරන රු65/- බද්ද. ඒ නිසා සහල් මාෆියාවේ නායකයා වෙන කවුරුවත් නොවේ වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මැතිතුමාය කියන එක බය නැතිව කියන්න පුළුවන්.
– Media unit
සහල් මාෆියාවේ නායකයා ඇමති වසන්ත සමරසිංහයි
2025-01-07T07:50:00+05:30
Gossip Lanka Hot News





