බල ලෝභී පාලකයන් පවසන පරිදි රාජ්‍යය පාවාදීමේ අශ්ලීල දුර්ජන පරමාර්ථයක් තමන්ට නොතිබුණු බවත්, විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලෙකු වීමේ පහත් ආශාවක් ද නොවුන බවත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද පැවසුවේය.
අරගලය අවස්ථාවේ අහිංසක නිරාධුය ජනතාවට එක වෙඩි උණ්ඩයක් හෝ පත්තු වීම ප්‍රාර්ථනා නොකළ තමන් උන්මන්තක ජන ඝාතකයෙක් නොවීමේ ප්‍රතිඵල අද මේ රට භුක්ති විඳින බව ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට කැරළි මර්ධනයට හමුදාව මැදිහත්වීමේ ප්‍රතිවිපාක විඳින ආසන්න රටවල අත්දැකීම් උපුටා දක්වමිනි.
පුරා වසර 41ක් මාතෘ භූමියේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් කැපවුන, හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (31) සිය ධුරයෙන් විශ්‍රාම යන අවස්ථාවේ දි මම ශවේන්ද්‍ර යන දීර්ඝ ප්‍රකාශය පළ කරමින් මේ අදහස් දක්වා තිබිණි.
එම නිවේදනයේ අතිශයම සංවේදී කොටස වන්නේ 2022 අරගලය අවස්ථාවේ දි හමුදාවේ හැසිරීම පිළිබඳ කරන හෙළිදරව්වය. එහි මෙසේ දැක්වේ.
වර්ෂ 2022 රට තුළ උදා වන මහජන කැලඹීම මගේ හමුදා රාජකාරි ජීවිතයෙහි මා සැබෑ මිතුරන් සහ සැබෑ හතුරන් ප්‍රායෝගිකව හඳුනා ගන්නා සංකීර්ණ යාමයකි. රාජ්‍ය යුද්ධ හමුදාව යනු බාහිරව හෝ අභ්‍යන්තරව හෝ රාජ්‍යයට සිදු වන උපද්‍රවයකදී ජනතා සුරක්ෂාව සඳහා පෙනී සිටින නිල ලත් සන්නද්ධ මිනිස් බළකායකට ය.”
“2022 අරගල යනු අභ්‍යන්තර ජන නොසන්සුන්තාවයකි. එහිදී උද්ඝෝෂකයන් පාලනය කිරීමට හමුදාවට අවම බලය පමණක් භාවිත කිරීමට මම විධාන ලබා දුනිමි. හමුදා වෙඩි උණ්ඩයකින් සාමාන්‍ය අහිංසක වැසියෙකු මිය යෑම මා නොපැතුවෙමි.”
“නිරායුද ජනතාවට එරෙහිව නිල බලයෙන් උන්මත්තක ජන ඝාතකයෙකු වීමට මා උත්සුක වූයේ නැත. එහි ප්‍රතිඵලය රට අපායක් නොවීම ය. එයට උදාහරණ රටට ආසන්න රාජ්‍යවල වර්තමානයෙහි පැන නඟින ජන උද්ඝෝෂණ මර්දනය පිණිස හමුදා ක්‍රියාත්මක වීමේ දුර්විපාක පෙන්වා දිය හැකි ය.”
“බල ලෝභී පාලකයන් පවසන පරිදි මට රාජ්‍යය පාවාදීමේ අශ්ලීල දුර්ජන පරමාර්ථයක් නොපැවතුණි. විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලෙකු වීමට හෝ මට පහත් ආශාවල් නොවිණි. එලෙස නම් මා එවකට පාලන බලයේ සිටිය රටේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළ අග්‍රාමාත්‍යතුමා උද්ඝෝෂකයන් ග්‍රහණයට ගෙන එතුමා ජීවිත අවදානමක පසුවද්දී ගුවන්
සංක්‍රමික බලකාය යොදවා මා අග්‍රාමාත්‍යතුමාගේ ජීවිතය සුරක්ෂිතව ගලවා ගන්නේ කුමකට ද?”
“දේශපාලකයන්ගේ ගෙවල් ගිනිබත් කරලීමට පැමිණි උද්ඝෝෂකයන් බහුතර පිරිසක් පලවා හැර එකී ගෙවල් බේරා ගන්නේ කුමකට ද? එහෙත් අරගල සමයේ මා සිදු කළ උපායික ක්‍රමෝපා පිළිබද රාජ්‍ය පාලකයන්ගේ කියවීම මට අවාසි සහගත විය.”
“තරු හතරක ජෙනරාල්වරයෙකුව ලංකා හමුදා ඉතිහාසයේ දෙවන හමුදාධිපතිව සේවයේ යෙදී සිටිය මා වර්ෂ 2022 මැයි 31 සේවයෙන් විශ්‍රාම ගැනීමට හත් මසක් ඉතුරුව පැවතිය දී බලධරයන් හමුදාධිපති පදවියෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පදවියට නිල මාරුවක් සිදු කළේ ය. එයින් පසු ආසන්න කාලයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රාජ්‍යයෙන් පලා යෑමට සිදුවන්නේ ද මා හමුදාධිපති පදවියෙන් සමුගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සිටියදී රාජ්‍ය අවසරය සහිත ව විදෙස් රටක පැවති ජාතික ආරක්ෂක සමුළුවකට සහභාගි වී සිටින යාමයක දී ය.”