සේවකයන් තලා පෙළා දමමින් ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කරමින් ඒකාධිපතින් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් පිරිසක් ගැන සේවකයන් කතානායකවරයාටද පාර්ලිමේන්තු මහ ලේකම් සහ නියෝජ්‍ය මහලේකම් ඇතුළු ප්‍රධානීන්ටද පැමිණිලි කර ඇතැයි වාර්තාවේ.
ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ රූමත් සේවිකාවන් පිරිසකට ලිංගික අඩන්තේට්ටම් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි ප්‍රධානියකු ඇතුළු නිලධාරීහු දෙදෙනෙක් දැනට වැඩ තහනමට ලක් කරනු ලැබ සිටිති
එම පරීක්ෂණ මේ වන විට අවසන් අදියරේ පවතින අතර එම පරීක්ෂණයෙන් අනතුරුව ඒ දෙදෙනාට දැඩි පියවර ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
.
කාන්තාවන්ට විවිධ ලිංගික අඩන්තේට්ටම් කළ බවට චෝදනා එල්ල වූ තවත් අංශයක සල්ලාල ප්‍රධානියෙක් පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් පසුගියදා විශ්‍රාම යෑමට නියමිත දිනට කලින්ම විශ්‍රාම යවනු ලැබීය.
මෑත කාලයේදී කාන්තාවන් ඇතුළු සේවකයන් හිරිහැරයට ලක් කිරීමේ වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ( Department of Information Systems And Management ) ඇතැම් ප්‍රධානීන්ටය.
මේ පිළිබඳවද සේවිකාවන් කිහිපදෙනකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනටමත් පැමිණිලි කර ඇතැයි දැනගන්නට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ඔවුන්ට පසුගිය දිනෙක දැඩි ලෙස අවවාද කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කාලයක සිට සිදුවන අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකිව සේවිකාවන් කිහිප දෙනෙකු එම අංශයෙන් දැනටමත් ඉවත්ව ගොස් ඇත. සමහරුන් විදේශගතවූ බවද ආරංචි මාර්ග සඳහන් කළේය.
තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාලයක් කටයුතු කළ හිටපු ප්‍රධානියාද තමන්ට අවනත නැති කාන්තාවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් නම් දැරූ සල්ලාලයකු බව තතු දත් පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති.