ඉදිරියේ දී වාහන ආනයනය සඳහා අවසර ලැබෙන්නේ ක්‍රමානුකූල ක්‍රමවේදයක් ඔස්සේ බවත් කාර් රථ වැනි පෞද්ගලික වාහන ගෙන්වීමට අවකාශ විවෘත වීම සම්බන්ධව තවම කිසිම අදහසක් නැති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මෙසේ පවසයි.
ඔහු පවසන්නේ පියවර කීපයකින් වාහන ආනයන වෙළෙඳපල විවෘත කිරීමට රජය බලාපොරොත්තුවන බවත් එහි මුලි පියවර ලෙස බස් රථ සහ ලොරි ආනයනයට අවකාශ ජනවාරි මුල වනවිට ලැබෙනු ඇති බවත් සභාපතිවරයා කියයි.
ඔහු වාහන වෙළෙඳපල විවෘත වීම සම්බන්ධව සැලසුම මාධ්‍ය ඉදිරියේ මෙසේ අනාවරණය කළේය.
“ලොකු කැලඹීමක් තියනවා වාහන ආනයනයට මොකද වෙන්නේ කියලා. දැනට තියන තත්ත්වය අනුව අපට තියෙන්නේ රජයේ උපදෙස් අනුව මේක ක්‍රමානුකූලව විවෘත කරන එක.”
“මුලින්ම බස් සහ ලොරි. බස් සහ ලොරි ගෙන්වීම ඉතාම නුදුරෙදීම විවෘත වෙනවා. ඒක තමයි පළමු පියවර. ඊට පස්සේ වාණිජ වාහන. ඒ කියන්නේ ආසන 15 වෑන් රථ, කැබ් රථ වැනි වාහන සඳහා ආනයන වෙළෙඳපල විවෘත වෙනවා.
මෙතනදි රජයේ තීරණය තමයි අවසන් තීරණය. රජයත් එක්ක අපි මේ ගැන සාකච්ඡා කරමින් යනවා. දැනට තියෙන්නේ රජයේ තීරණය යටතේ බස් සහ ලොරි ගෙන්වීම අවකාශය විවෘතවන එක. අනිත් වාහන ගැන කිසිම තීරණයක් තවම නෑ.
අයිඑම්එෆ් එකෙනුත් කියලා තියනවා වාහන ආනයන වෙළෙඳපල විවෘත කරන්න කියලා. නමුත් පියවරින් පියවර තමයි මේක විවෘත වෙන්නේ. ඒකෙන් වෙන බලපෑම බලලා තමයි ඊලඟ පියවර වලට යන්නෙ. මම හිතනවා මේ දෙසැම්බර් අග හෝ ජනවාරි මුල බස් සහ ලොරි සඳහා ආනයන අවකාශ ලැබෙයි කියලා.
ඉලෙක්ට්‍රික් වාහන විතරක් ඕපනප් වෙනවා කියලා රජයේ නිලධාරින් කොයි වෙලාවකවත් සඳහන් කරලා නෑ. ටික ටික පියවරින් පියවර සිදුවන තක්සේරු කිරීම් මත මුළු ක්ෂේත්‍රයම විවෘත වේවි. “වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පැවසුවේය.