අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාවේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නිෂ්ප්‍රභ කළා.
පෙත්සම අද ශ්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, කුමුදුනී වික්‍රමසිංහ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැදවූවා.
මෙම පෙත්සම නීතිඥ බී.පී.එස්.එම්. පතිරත්න මහතා විසින් ගොනුකර තිබූ අතර පසුගිය අප්‍රේල් 30 වැනිදා පෙත්සම කරුණු තහවුරු කිරීමට කැදවූ අවස්ථාවේ ජනාධිපතිවරයාට අග්‍රවිනිශ්චයකාරවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම හෝ යෝජනා කිරීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළා.
එදින ව්‍යවස්ථාදායක සභාව නිසි ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකරමින් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නම්කරන ලද විනිසුරුවරයකුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇද්දැයි විමසා බැලීමට පෙත්සම විභාගයට විනිසුරු මඬුල්ල අවසර ලබාදුන්නා.
ඒ අනුව පෙත්සම් විභාගය ජූලි 25 අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අද දින නියෝගය ලබාදෙමින් පවසා සිටියේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත්කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයන් විසින් ගත් තීරණය නිවැරැදි තීරණයක් බවයි.
-dasathalankanews