පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටිමින් පාතාලයෙන් ජීවත්වන පොලිස් නිලධාරීන් ඉතා අතලොස්ස පාතාල මර්ධනයට විශාල බාධාවක් වී ඇති ආකාරය සම්බන්ධව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල අද (26) හෙළිදරවු කළේය. සාම නිලධාරියා පාතාලයේ කප්පම්වලින් යැපෙන්නන් වූ විට ඇති වන තත්ත්වය කුමක්දැයි විමසූ නියෝජ්‍ය අමාත්‍යවරයා එවැනි සිද්ධියක් හේතුවෙන් රුවන්වැල්ල පොලිසියේ සියලුම නිලධාරීන් පාහේ මාරු කර යැවීමට සිදුවූ බව පැවසුවේය.
අද දෙරණ බිග් ෆෝකස් වැඩ සටහනට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
“පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ ඇත්ත කැපවීමෙන් වැඩ කරන ප්‍රමාණයක් ඉන්නවා. පොලිස්පතිවරයාට අවශ්‍ය වෙලා තියනවා අවංකවම මැදිහත් වෙලා මේක නවත්වන්න. නමුත් ඇත්ත කියන්න ඕන. පාතාල කුඩු මත්ද්‍රව්‍යවල යට පොලිසියේ පිරිසක් ඉන්නවා. මේක යට පඩිගන්න පොලිස් නිලධාරීන් ඉන්නවා. කප්පම් වුනත් එහෙමයි. ඇයි රුවන්වැල්ල මුළු පොලිසියම මාරු කරන්න වෙන්නේ. අවිස්සාවේල්ල එහෙමයි. ඇයි එහෙම වෙන්නේ. පාතාල කල්ලි යට පොලිසිය ඉන්නවා.”
“පෙරේදා අයි.ජී ගෙනත් සාකච්ඡා කළා. පාතාලය මෙහෙයවන්නා මේ වනවිට ඉන්නේ මතුගම. හොරණ මතුගම මුළු ප්‍රදේශයම පාතාල කල්ලිය යටතේ ඉන්නේ. මිනිස්සු හෙළිදරවු වෙන්න බයයි. ඥාති එකතු වෙන්නේ නෑ. ඥාති විසිරිලා ඉන්නේ. හිතවතුන් මේකට සම්බන්ධ වෙන්නේ නෑ. සම්බන්ධ වෙන්න බයයි. ඒක රකින මිනිහා ගැන ඔත්තුව යනවා.”
“මේක අපි ප්‍රශ්නයක් විදිහට අරන් තියනවා. අපි ගත්ත ක්‍රියාමාර්ග සියල්ල මේ මාධ්‍යයක හෙළි කරන්න අමාරුයි. මත්ද්‍රව්‍ය සම්බන්ධව හා පාතාලය සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් තින්දු තීරණ ටිකක් ගන්නවා. ඒක ක්‍රියාත්මක කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ පොලිස්පතිවරයා සම්බන්ධ වෙලා. ඒවට අදාල මාර්ගෝපදේශය දෙනවා. අවශ්‍ය සියලුම පහසුකම් සපයනවා. රාජකාරිමය ගැටලු මතු වෙලා තියනවා නම් ඒක විසඳලා දෙනවා දේශපාලනඥයින් විදිහට. ”
“අප කරන්නේ පාතාලය මඩින්න එක්ස් වයි ඉසෙඩ් ආදී ලෙස පුද්ගලයින්ව නම් කරන එක නෙමෙයි. අපේ උවමනාව පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම. මම හෝ මගේ ඇමතිවරයා හෝ ජනාධිපතිවරයා හෝ අපේ ඕනෑම දේශපාලකයෙක් මේ මෙහෙයුම් වළක්වන්න මැදිහත් වෙනවා නම් බලපෑම් කරනවා නම් කරුණාකරලා දන්වන. මට එය අභියෝගයක් විදිහට කරන්න පුලුවන්. ඒක කවදාවත් එහෙම වෙන්නේ නෑ. එහෙමනම් එතන අපේ පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් නෑ.”
“මේ අපරාධ මර්ධනය කිරීම සඳහා සම්පූර්ණ මෙහෙයුම දීලා තියෙන්නේ පොලිස්පතිවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට. ඔවුන්ට අවශ්‍ය නිදහස දීලා තියනවා කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නැතිව.”
“අපව බලයට පත් කළා තුනෙන් දෙකක ජන වරමකින්. සියයට 80ක් ඡන්දය දුන්නා රජයේ සේවකයො. පොලිසියේ මහත්තුරු අසූ අට දාහක් ඉන්නවා රජයේ සේවකයින් විදිහට. අසූ අට දාහක් වූ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමන්ලා මහජන වරමට ගරු රකන්න. මහජන වරම බලාපොරොත්තු වෙන්නේ නෑ තවත් කුඩු ගංජා අයිස් පවත්වාගෙන යන එක. අපි බලාපොරොත්තු වෙන්නේ නෑ පාතාලය පවත්වාගෙන යන එක. මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටග පැවසුවේය. “