ගෝඨාභය මහත්තයා දිනුවා. දිනපු ගමන් මම කිව්වා,
‘පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ…’
අනුර කුමාර මහත්තයටත් ඕකමයි. පමා වෙලා හරි නැගිටිනවා. නැගිටින දවසක් එනවා. ජනතා විමුක්ති පෙරමුණත් එහෙමනේ. අවුරුදු 40ක් විතර නානාවිධ දුක් ගැහැට මැද්දෙන් ඇවිල්ලා මහා බලපරාක්‍රමයන් ඉදිරියේ හිටගත්තනේ. ඇයි අපි කැත කතාවක් ඔළුවේ තියාගෙන ඉන්නේ? කැත සිතුවිල්ලක්. අපිට බෑ, ඕවා වෙනස් කරන්න බෑ, දියුණු වෙන්න බෑ, ඉගෙනගන්න බෑ. හැම වෙලාවෙම තියෙන්නේ නෑ, බෑ, එපා, හොඳ නෑ, මට නෑ එහෙම මානසිකත්වයක්. මිථ්‍යාදෘෂ්ටික හීනමානයක් ඒක. ඇයි මට පුළුවන් කියලා කියන්න බැරි, නැගිටින්න බැරි? මට පුළුවන් කියලා නැගිටින්න ඕනේ. අපි මැළිවෙලා.
මේ උන්දැලාට විනාඩි පහක් පන්සිල් සමාදන් වෙන්න හිටගෙන ඉන්න බැරිද? පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය – උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහාණාය. ගේ ඇතුළේ අම්මට වඩා දෙයියෙක්, අප්පට වඩා දෙයියෙක් ආයෙත් කොහෙන්ද? ‘කුඹුරු කොටන තැන – පාර තනන තැන -ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ – බලන් කඩතුරා හැර දෑසේ…’ කණ වෙලා තියෙන ඔය ඇස් ඇරලා බලන්නලු කවුද දෙවියා කියලා. රැකවරණය දෙන්නේ දෙවියා. පෝෂණය දෙන්නේ දෙවියා. බුද්ධිය ලබාදෙන්නේ දෙවියා. මේ සියල්ල ලබාදෙන උත්තමයා ගේ ඇතුළේ අම්මා. ගේ ඇතුළේ තාත්තා. ඒ වටිනාකමට කෝ ගුණ? ඔබ ඒ මවුකම දැකලා තියෙනවද? නෑ මේ උන්දැලා කන්න දෙනවා. තිස්තුන් කෝටියක් ඉන්නවලු කිය කියා. කපුවගේ අතේ බ්‍රේස්ලට් පත්තෑයො වාගේ. චේන් පෙකණියෙන් පල්ලෙහාට එල්ලෙනවා. මුදු ඇඟිලි පහේම කපුවගේ.
‘දොයි දොයි දොයි දොයිය පුතා…
බයි බයි බයි බයිය පුතා…
අතට වෙරළු ඇහිඳ ගෙනේ…
ඉණට පලා නෙළා ගෙනේ…
බරටම දර කඩා ගෙනේ…
එයි අම්මා විගසකිනේ…’
භාවනාවක්. අම්මාගේ ඉගැන්වීම භාවනාවක්. මොනවද කියන්නේ? හීන් එකා රැහැයියා වාගේ කෑගහනකොට ඒ උන්දැගේ මධුරමය ස්වර කාණ්ඩය කොල්ලාව නිමනවා. නිමපු ගමන් කොල්ලට කියනවා පුතේ අම්මා ගියා දර කඩන්න. එන ගමන් වෙරළු අහුලාගෙන එනවා අතට. පලා නෙළාගෙන එනවා ඉණට. දර තියාගෙන එනවා හිසට. මේ ඔක්කොම අරගෙන එන්නේ මගෙ පුතාගේ අප්පච්චි අනන්ත හෙළන දහඩියට අම්මාගේ සහාය දෙන්න. මගෙ පුතාට ජීවිතය දෙන්න. ඒ හින්දා මේ දුක ඉවසපන්. ලැබෙන අඩුපාඩු ඉවසපන්. ඒවා දරාගනින්. දරාගන්න පුරුදු වෙයන්.