තමාට රාවණා යුගයේ පුරා වස්තු හා නාග මාණික්‍යයක් ලැබි ඇති බවත්,ඒ තුළින් තමන්ට විශ්ව ශක්තීන් ලබාදිය හැකි බවත් පවසමින් ජනතාව මුලා කර කෝටි ගනන් මුදල් වංචාකල චීවරධාරියෙකු මේ මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ නාමල් උයන විහාරය, නාමල්ගම, වවුනියාව ලිපිනයේ පදිංචි පොල්ගහවෙල මලියදේව නොහොත් දිල්රුවන් ක්‍රිෂාන්ත සුබසිංහ නැමති 46 හැවිරිදි චීවරධාරියෙකි.
සැකකාර චිවරධාරියා සම්බන්ධයෙන් තණමල්විල පොලිසියට ලද තොරතුරකට අනුව තණමල්විල පොලිසිය විසින් පෙරේදා (02) රාත්‍රි සැකකාර චීවරධාරියා තණමල්විල අරඹෙකෙම ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී සිටියදි අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර චිවරධාරියා සමාජ මාධ්‍ය හරහා තමන්ට විශ්ව ශක්තිය ඇති බවත්, නාග මාණික්‍යයක් ඇතුළු රාවණා යුගයේ පුරා වස්තු රැසක් තමන් සතු බවත් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව රවටමින් රුපියල් කෝටි ගනනින් මුදල් මේ තැනැත්තා විසින් ජාවාරම් කර ඇතැයි අනාවරණය වී තිබේ.
මෙම සැකකාර පුද්ගලයා පූජකවරයෙකු, පැවිද්දෙකු ලෙස මෙන්ම ගිහියෙකු ලෙසද විටින් විට සමාජ මාධ්‍ය හරහා පෙනි සිටිමින් විවිධ රංගනවල යෙදි සිට තිබේ. සැකකරු විසින් මීට පෙරද බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ඇති කාන්තාවක රවටා රුපියල් කෝටි ගනනක මුදල් වංචා කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ලැබි ඇත. මේ සම්බන්ධයෙන් මිට පෙර ද මාධ්‍ය හරහා හෙළිදරව් කර තිබේ. එම අනාවරණයත් සමග සැකකාර පුද්ගලයා තණමල්විල ප්‍රදේශයට පැමිණි සැඟව සිටින බවට ලද තොරතුරට අනුව මෙම වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. වැටලිමේදී සැකකරු සන්තකයේ තිබී වීසා කාඩ් පත් 05ක්,විදෙස්ගමන් බලපත්‍ර දෙකක්, ගිහි ඇදුම් තොගයක් හා වෛද්‍ය විව්‍යාලයක දේශකවරයෙකු බවට සදහන් ව්‍යාජ හැදනුම්පතක්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අධිකරණයට ඉදිරිපත් කෙරුණ සැකකරු මේ මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව මුදල් වංචාව සදහා සහ බහු විවාහයකට අදාලව පවතින නඩු කටයුතු සදහා හෙට (05) බන්ධනාගාරය මගින් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් වැල්ලවාය මහේස්ත්‍රාත් වරයා නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.