gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවට එරෙහි හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුව තීරණාත්මක තැනක! නිව්යෝක් ෆෙඩරල් අධිකරණයට බැංකුවෙන් ලියුමක්! ආණ්ඩුවත් වහාම පිළිතුරු ලියුමක් යවයි! තීන්දුව අවාසි වුණොත් ලංකාන ලොකු අවදානමක!


වත්මන් ආණ්ඩුව ඉදිරියේ පුපුරා යෑමට නියමිතව තිබෙන කාල බෝම්බයක් පිළිබඳවද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ හෙළිදරව්වක් කිරීමට අප සූදානම්ය. ඒ, ශ්‍රී ලංකාවෙන් බැඳුම්කර මිලදී ගත් ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව පිළිබඳවය. 2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්කිරීමත් සමග විදෙස් ණය හිමියන්ට ගෙවීමට ඇති සියලු ණය මුදල් ගෙවීම පැහැරහැරීමට ආණ්ඩුව කටයුතු කොට තිබිණි. එම තත්ත්වය හමුවේ මෙරට බැඳුම්කර මිලදී ගත් ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරමින් අදාළ මුදල් ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලීමක් කොට තිබිණි. මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යයක පළමුව කරුණු හෙළිදරව් කිරීමට කටයුතු කළේද ‘රාජ්‍ය රහස්’ තීරය විසිනි.

එරටින් අපට ලැබෙන තොරතුරුවලින් නම් කියැවුණේ නඩුව අධිකරණය හමුවේ දිගහැරෙන ආකාරය දෙන බලන විට ශ්‍රී ලංකාවට එය ඉතා අවාසිසහගත තීන්දුවක් ලැබීමේ බොහෝ ඉඩකඩක් නිර්මාණය වෙමින් පවතිනවා යැයි කියාය. එවැනි පසුබිමක් යටතේ යම් හෙයකින් ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණය මගින් ලංකාවට අවාසිසහගත තීන්දුවක් ලබාදුනහොත් එතැන් සිට ඇමෙරිකානු රිසර්ව් බැංකුව වෙත ගෙවීමට ඇති ණය මුදල ගෙවීමට ලංකා ආණ්ඩුවට සිදුවනු ඇත.
එහි ඇති භයානකම තත්ත්වය වන්නේ මෙම නඩුවේ තීන්දුව පදනම් කොට ගෙන දැනට ගෙවීම් පැහැරහැර සිටින විදෙස් ණය හිමියන් 100කට අධික සංඛ්‍යාවක් මේ ආකාරයට තමන්ගේ ණය මුදලද පියවන ලෙස ඉල්ලා එරට අධිකරණය හමුවේ නඩු පැවරීමේ අවදානමක් තිබීමය. එසේ වුවහොත් දැඩි ඩොලර් හිඟයකට මුහුණපා සිටින ලංකා ආණ්ඩුවට සිදුවන්නේ අතිශය භයානක තත්ත්වයකට මුහුණ දීමටය.

මෙම නඩුව අධිකරණය හමුවේ දිගහැරෙන ආකාරය ලංකාවට අහිතකර නිසාම එවක පැවැති ආණ්ඩුව ඇමෙරිකානු රජය සමග සාකච්ඡා කොට ඔවුන්ගේද සහාය ඇතුව නඩුවේ තීන්දුව ලබාදීම කිසියම් කාලයකට කල්දමා ගැනීමට කටයුතු කළේය. නමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන වෙනසත් සමග නැවතත් මෙම නඩුවේ තීන්දුව ලබාදීම ඉක්මන් වන ආකාරයක් දැකගන්නට පුළුවන.

ලියුම් හුවමාරුවක්
මේ බව තහවුරු වූයේ පසුගිය ඔක්තෝබර් පළමුවැනිදා හැමිල්ටන් රිසර්ව් බැංකුව මගින් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ලිපියක් හේතුකොට ගෙනය. එම ලිපිය මගින් හැමිල්ටන් රිසර්ව් බැංකුව අධිකරණයට පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළියක් සිදුව ඇති බවත්, වම නියෝජනය කරන නායකයකු වන අනුර කුමාර දිසානායක මහතා බලයට පත්ව තිබීමත් නිසා ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බවය. අනුරගේ ආණ්ඩුවත් පැවැති ආණ්ඩු විසින් ගෙන ආ ආර්ථික වැඩපිළිවෙළම ඉදිරියට ගෙන යයිද, අයි.එම්.එෆ්. ගිවිසුමෙන් ඉවත් වීමට කටයුතු කරයිද, විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ පිළිගනීද යනුවෙන් ගැටලුවක් මතුවන බවද හැමිල්ටන් රිසර්ව් බැංකුව පෙන්වා දී තිබේ.

මෙම ලිපිය පදනම් කොටගෙන අධිකරණය හමුවේ කරුණු දක්වා ඇති එම බැංකුව වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මේ වනවිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවා ඇති පසුබිමෙක අනුරගේ පක්ෂයට බහුතරයක් හිමි නොවීමේ අවදානමක් මතුව ඇති බවත්, ශ්‍රී ලංකාවේ මූල්‍ය බලය පාර්ලිමේන්තුවට හිමිව ඇති බැවින් එවැනි තත්ත්වයක් යටතේ බහුතරයක් නොමැති ආණ්ඩුවක් පත්වුවහොත් ණය ගෙවීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් වනු ඇති බවත්, මේ හේතුව නිසා තවදුරටත් මෙම නඩුවේ තීන්දුව කල් නොදමා වහාම ප්‍රකාශයට පත්කළ යුතු බවත්ය.

මේ ආකාරයට හැමිල්ටන් රිසර්ව් බැංකුව ලිපියක් මාර්ගයෙන් ලංකාවේ තත්ත්වය පිළිබඳ ෆෙඩරල් අධිකරණයට කරුණු දැනුම් දී ඇති බව ආණ්ඩුවටද වාර්තා විය. ඒ අනුව ආණ්ඩුවද වහාම ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය. ඒ, ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන භාරව සිටින ක්ලිෆර්ඩ් ඇන්ඩ් චාන්ස් සමාගම හරහාය. ඒ අනුව, පසුගිය ඔක්තෝබර් 04 වැනි දින අදාළ සමාගම විසින් ලිපියක් මගින් ෆෙඩරල් අධිකරණයට දැනුම් දී ඇත්තේ ආණ්ඩුව වෙනස් වුවද ලංකාව මෙතෙක් පවත්වාගෙන ආ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීමකට ලක් නොවන බවකි. එහිදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ දැනුම් දීමක් කර ඇති අදාළ සමාගම ආණ්ඩු වෙනස් වුවත් මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම කිසිසේත් වෙනස් නොකරන බව අධිකරණයට දැනුම්දී තිබේ.

තත්ත්වය මෙසේ වුවත් යම් හෙයකින් හැමිල්ටන් රිසර්ව් බැංකු පැවරූ නඩුවේ තීන්දුව බැංකුවට වාසිසහගත ලෙස ප්‍රකාශයට පත්කිරීමට ෆෙඩරල් අධිකරණය කටයුතු කළහොත් ආණ්ඩුවට එම මුදල් නොගෙවා සිටිය නොහැකිය. එවැනි තත්ත්වයක් මතුවුවහොත් දැනට ණය නොගෙවා සිටින අනෙකුත් ණය හිමියන්ද ලංකා ආණ්ඩුවට එරෙහිව අදාළ නඩු තීන්දුව පදනම් කරගෙන අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරනු ඇත. එසේ වුවහොත් තත්ත්වය අතිශයින්ම අවදානම්සහගත වන බව අමුතුවෙන් කිවයුතු නැත.

එමෙන්ම ආණ්ඩුව වෙනුවෙන් ක්ලිෆර්ඩ් ඇන්ඩ් චාන්ස් යොමුකළ ලිපිය හරහා තවත් කරුණක් පැහැදිලිය. ඒ, රට වෙනස් කරන බවට, අයි.එම්.එෆ්. ගිවිසුමේ යම් යම් කරුණු වෙනස් කරන බවට ජනතාවට පොරොන්දු දී පැමිණි මාලිමා ආණ්ඩුවද මහින්දලා, රනිල්ලා, සජිත්ලා ගිය පාරේම ඉදිරියට යෑමට තවදුරටත් තීන්දු කර ඇති බවය.

- රාජ්‍ය රහස්!
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka