සමගි ජන බලවේගයේ දැදිගම ආසන සංවිධායක වසන්ත සේනානායක ගේ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබුණු මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඩබල් කැබ් රථයක් වරකාපොළ අඟුරුවැල්ල මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී ගලපිටමඩ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කළ ක්ෂණික මාර්ග බාධක පොලිස් මෙහෙයුමකදී පෙරේදා (10) රාත්‍රී කාලයේ සොයාගෙන තිබේ.
අඟුරුවැල්ල දෙස සිට වරකාපොළ දෙසට ධාවනය වෙමින් තිබුණු pc 4755 අංකය දරන ඩබල් කැබ් රථය ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් නතර කර කළ පරීක්ෂාවේදී එහි රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සතුව රියැදුරු බලපත්‍රයක් තිබී නැත.
දුම්මලදෙනිය, වරකාපොළ පදිංචිකරුවෙක් වන තිස් නම හැවිරිදි සමීර ලක්මාල් නැමැති රියැදුරා ප්‍රශ්න කිරීම් හමුවේ පොලිසියට පවසා ඇත්තේ වසන්ත සේනානායක මහතාගේ වරකාපොළ පිහිටි කාර්යාලයේ කටයුතු සඳහා මෙම කැබ් රථය භාවිත කරන එකක් බවය.
මෙම රථයේ ලියාපදිංචි තොරතුරු ද තිබී නැති අතර එහි ඉදිරිපස වීදුරුවේ අලවා තිබූ ආදායම් බලපත්‍රය පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීමේදී එය මාර්ග සංවර්ධන අධිකාරියේ රථයක් බව හඳුනාගෙන තිබේ.
මේ බව ක්ෂණික මාර්ග බාධක සෝදිසි රාජකාරියේ සිටි නිලධාරීන් ගලපිටමඩ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා එම නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ රියැදුරු සමඟ කැබ් රථය පොලිස් ස්ථානයට රැගෙන එන ලෙසය.
පොලිසිය රියදුරා සහ කැබ් රථය පොලිසියට ගෙන්වාගෙන රියදුරාගෙන් කළ දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී හෙළි වී ඇත්තේ මෙම රියදුරාගේ සොයුරා පසුගිය ජූලි 14 වැනිදා ගලපිටමඩ ප්‍රදේශයේ දී මාකිලංගමුවේ සංජීවගේ කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කළ දුනුමාලේ සරත් ගේ කුලී ඝාතකයින්ගෙන් කෙනෙක් බවය.
එමෙන්ම ඔහු මෙම කැබ් රථය ධාවනය කර ඇත්තේ බීමතින් රිය පැදවීමේ වරදට ඔහුගේ රියදුරු බලපත්‍රය මාස තුනක කාලයක් සඳහා පොලිසිය උසාවියෙන් අත්හිටුවා තිබෙද්දී බවය.
පොලිසිය රියැදුරාගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ වසන්ත සේනානායක මහතාගේ කාර්යාලයේ වැඩ කරන සේවකයින් කිහිප දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලටත් අඟුරුවැල්ලේ ඇති කොරියන් භාෂා පුහුණු පාඨමාලාවක් පැවැත්වෙන ස්ථානයකටත් ඇරලවීමට ගොස් නැවත කාර්යාලයට යමින් සිටියදී පොලිස් පරීක්ෂාවට ලක් වූ බවය.
මෙම කැබ් රථය ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ද මැතිවරණ කටයුතු සඳහා තමා පැදවූ බවද රියැදුරා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. සිය කාර්යාලයේ සේවයේ නිරත රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගත් වසන්ත සේනානායක ද පොලිසියට දුරකතන ඇමතුමක් දෙමින් තොරතුරු විමසා ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
තත්ත්වය පැහැදිලි කර දීමෙන් අනතුරුව ඔහු පොලිසියට පවසා ඇත්තේ පොලිසියේ රාජකාරිවලට තමා බාධා නොකරන බවයි. කැබ් රථය සම්බන්ධයෙන් පොලිසිය කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ මීරිගම ප්‍රදේශයේ පිහිටි යම් කොන්ත්‍රාත් සමාගමක් රථය ඉකුත් ජනාධිපතිවරණ සමයේදී වසන්ත සේනානායකගේ කාර්යාලයේ කටයුතු සඳහා ලබාදී ඇති එකක් බවය.
ඒ සම්බන්ධයෙන් අදාළ සමාගමේ ප්‍රධානියෙක් පොලිසියට දුරකතන ඇමතුමක් දෙමින් සඳහන් කර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එම රථය තමන් මිලදීගත් එකක් බවත් එය මිලදී ගෙන වැඩි කාලයක් නොමැති බවත්ය. රථය තමන්ගේ නමට ලියාපදිංචිය වෙනස් කිරීමට ප්‍රමාද වූ බවද ඔහු පොලිසියට පවසා තිබේ.
මෙම කැබ් රථයේ පෙනුම හා ධාවන තත්ත්වය සලකා බැලීමේදී රාජ්‍ය ආයතනයක් වන මාර්ග සංවර්ධන අධිකාරිය මෙවන් ධාවන තත්ත්වයේ ඇති වාහනයක් සමාගමකට අලෙවි කර තිබීම ගැටලුසහගත බව පොලිසියට පෙනී ගොස් ඇත.
ඒ අනුව වැඩිදුර විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ආදායම් බලපත්‍ර පවා පසුගිය අගෝස්තු පස්වැනිදා වසරක කාලයක් සඳහා අලුත් කරවාගෙන ඇත්තේද මාර්ග සංවර්ධන අධිකාරියේ වාහනයක් ලෙස බවය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් කළ පරික්ෂා කිරීමේදී තහවුරුවී ඇත්තේ තවමත් එම රථය ලියාපදිංචි කර තිබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරු නාමයෙන් බවය.
මෙම රථය මෝටර් රථ ප්‍රවාහන කොමසරිස් කාර්යාලයේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරු නාමයෙන් ලියාපදිංචි කර ඇත්තේ 2011 වර්ෂයේ සිට බවද පොලිසියට පෙනී ගොස් ඇත. මේ හේතුව නිසා පොලිසිය වාහනයේ හිමිකරු බව සඳහන් කරමින් පොලිසියට ඇමතුමක් දුන් කොන්ත්‍රාත් සමාගමේ ප්‍රධානියාට පවසා ඇත්තේ වාහනය මාර්ග සංවර්ධන අධිකාරියෙන් මිලදී ගැනීමට අදාළ ලියකියවිලි පොලිසියට ඉදිරිපත් කරන ලෙසය.
එහෙත් ඊයේ සවස් වන තුරුම අදාළ සමාගමේ නිලධාරියා එම ලියකියවිලි රැගෙන පොලිසියට පැමිණ සිටියේ නැත.
ඒ අනුව වාහනය පොලිස් භාරයේ තබාගෙන සැකකාර සමීර ලක්මාල් නමැති රියැදුරු රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී පොලිසිය ඉදිරිපත් කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගෙන රියැදුරු ලබන විසිතුන් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ( දිනමිණ – ගයාන් කුමාර වීරසිංහ- කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්)