තමන් රට අතහැර පලා යාමට දේශපාලනය කරන්නේ නැති බවත් රට අතහැර යනවා නම් යන්න තිබුණ බවත් පැනලා යයි කියා බලා සිටි බොහෝ අයට රිදෙන්නේ පැනලා නොගිය බවද ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සදහන් කරයි.
අපේක්ෂක නාමල් රාජපක්ෂ තවදුරටත් සදහන් කළේ,
“සමාජයේ වෘත්තියට ලැබෙන ගෞරවය ආරක්ෂා කරන දේශපාලන නායකත්වය ලබාදෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. අපි තරුණයි. අපි දන්නවා මේ අයගේ දරුවන් සිතන විදිය. අපිටත් ළමුන් ඉන්නවා.
අපි කැමැති නැහැ අපේ දරුවන් හැදෙන්නේ වැඩෙන්නේ සංස්කෘතියක් නොමැති පරිසරයක නම්. අද ළමා අපචාර දෙස බලනවිට, ගෘහස්ථ හිංසනය දෙස බලනවිට වගේම කාන්තා අපයෝජන දෙස බලනවිට තාත්තා කෙනෙක් විදියට අපිටත් දෙවරක් සිතිය යුතු වෙනවා.
එසේ නම් මේ සමාජය වෙනස් කිරීමේ වගකීම අපිට පැවරෙනවා. එය කරන්න අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදෙන්න වගකීමක් තිබෙනවා. පිහිටුවන ආණ්ඩුවට වගේම දේශපාලන පක්ෂවලට ඒ සම්බන්ධයෙන් වගකීමක් තිබෙනවා.
ඒ වගේම අපේ පක්ෂය මැනවින් හදුනාගෙන තිබෙනවා. අපි මේ මහපොලොවේ පය ගසා ජීවත් වෙනවා. අපි මේ රට අතහැර යන්න දේශපාලනය කරන අය නොවෙයි. අපි මේ රට අතහැර යනවා නම් යන්න තිබුණා. අපි පැනලා යයි කියා බලා සිටි බොහෝ අයට රිදෙන්නේ අපි පැනලා නොගිය නිසයි.
අපි අභියෝගවලට බිය නැහැ. අපි අභියෝගවලට ආදරය කරනවා. ඒ නිසා අපි මේ රට අතහැර යන්නේ නැහැ. මේ රට ආර්ථික, සාමජයීය, දේශපාලන වශයෙන් ස්ථාවර කිරීමේ අභියෝගයටත් අපි ආදරය කරනවා. අභියෝගය අපි ජයග්‍රහණය කරනවා. හම්බන්තොට වරාය යළිත්වරක් අපි දකුණු ආසියාවේ නාවික කෙනේද්‍රස්ථානය බවට පත්කරනවා.
හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගත් කාර්මික ජනපදය අපි නැවත වරක් ආරම්භ කරනවා. සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය කේන්ද්‍ර කරගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා ලක්ෂයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. අධිවේගී මාර්ග දියුණු කිරීම තවදුරටත් ක්‍රියාත්මක කරනවා.
සෑම පළාතක්ම සම්බන්ධ කරගමින් අධිවේගී මාර්ග ආරම්භ කරනවා. ඒ සියලු පළාත් යාකරමින් ආර්ථික විප්ලවය අපි 22 දායින් පසුව ආරම්භ කරනවා. ඒ වගේම තමයි අපේ රටේ දේශීය ආර්ථිකය අපි දියුණු කරන්න ඕනෙ. ගමේ ගොවියා, ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා අපි ශක්තිමත් කරන්න ඕනෙ.”
තංගල්ල, වාඩිගල පොළ භූමියෙදි පැවැති ජන රැළිය අමතමින් අපේක්ෂක නාමල් රාජපක්ෂ මේ බව සදහන් කරයි.