වෛද්‍ය වෘත්තියේ උත්තුංග ගෞරවය ව්‍යසනයට ලක් කරමින් රෝගියෙකුගේ වකුගඩු දෙකම ගලවා දමා නැවත වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුනොකර සැත්කම් වර්ජනය කළ ජයවර්ධන පුර රෝහලේ මෞත්‍ර ලිංගික සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය නිරෝෂන් එල්. සෙනවිරත්නගේ අගතිගාමි ක්‍රියාකලාපය පිළිබඳ පූර්ණ පරීක්ෂණ වාර්තාවක් සෞඛ්‍ය ලේකම්වරයා වෙත යොමු කළ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
වකුගඩු බද්ධයක් සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ බී.ජී.එන් කුමුදුනීගේ වකුගඩු දෙකම ගලවා ඉවත් කර වකුගඩුවක් බද්ධ නොකිරිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙන ලෙස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල රෝහල් පරිපාලනය වෙත පසුගිය දා දැනුම් දී තිබිණි.
ඒ අනුව සිදුකළ පරික්ෂණ වාර්තාවෙන් හෙළිදරවු වී ඇත්තේ මෙම විශේෂඥ වෛද්‍යවරයා මෙම රෝගී කාන්තාවගේ වකුගඩු යුවල ගලවා දමා වකුගඩුවක් බද්ධ නොකර පුරා මාස හයක් තිස්සේ වකුගඩු බද්ධය අත්තනෝමතිකව ප්‍රතික්ෂේප කර ඇති බවය.
එසේ මගහැරිම හේතුවෙන් මෙම කාන්තාවට මාස හයක කාලයක් පුරා සතියකට දින දෙක බැගින් රුධිර කාන්දු පෙරණ වාර 55ක් සඳහා රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් වියදම් කිරිමට ඉඩ සලස්වා තිබිණි.
මේ පිළිබඳව එම කාන්තාව ජයවර්ධනපුර රෝහලේ පාලන අධිකාරියට කළ පැමිණිල්ලක් මත සිදුකළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බිහිසුණු යථාර්ථය වී තිබුණේ මෙම චූදිත වෛද්‍යවරයා මේ ආකාරයෙන් රෝගීන් අපහසුතාවයට පත් කර සිය පුද්ගලික සේවාවන් පවත්වන තලවතුගොඩ රෝහලකට රැගෙන විත් නිර්දය ලෙස රෝගීන් සූරාකෑමේ ජාවාරමක පුරා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ යෙදී ඇති බවය.
මෙම කටයුත්ත ඉතාම සංවිධානාත්මකව රෝහලේ වෛද්‍යවරියන් දෙදෙනෙක් ඇතුළු කණ්ඩායමක් විසින් පවත්වාගෙන ගොස් ඇති බව ද හෙළිදරවු වී ඇත. සිද්ධිය හේතුවෙන් මෙම විශේෂඥ වෛද්‍යවරයා වැඩ තහනමකට ලක් වී ඇත.
මේ වනවිට කායික මානසික මෙන්ම ආර්ථික අතින් ද අන්ත පීඩාවට පත් වි සිටින රෝගී කාන්තාව මේ සාහසික මානව අපරාධයට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට සූදානම් වන බව වාර්තා වේ.
-lankasara
-lankasara