ප්‍රධාන පක්ෂ දෙක ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයටත් විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයටත් මාරු වෙමින් වෙනත් කිසිම දේශාපාලන බලවේගයකට හිස ඔසවන්නට ඉඩ නොදී නිදහසින් පසු දේශපාලනය කළ ආකාරය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මුවෙන් ගිලිහුණේය.
ජනාධිපතිවරයා පැවසුවේ කිසිම විටෙක විපක්ෂය වෙනත් විපක්ෂ බලවේගයකට නැගී සිටීමට අවස්ථාව ලබා නුදුන් බවය. ඩඩ්ලි සේනානායක, බණ්ඩාරනායක මැතිණිය, ජේ.ආර්.ජයවර්ධන, මහින්ද රාජපක්ෂ මෙන්ම තමන් ද එම දේශපාලනය කළ බවත් එය විපක්ෂයේ දේශපාලන නියමයක් බව ඔහු පෙන්වා දුන්නේය.
එහෙත් සජිත් ප්‍රේමදාස දුර්වල විපක්ෂ නායකයෙක් නිසා ප්‍රබල විපක්ෂ බලවේගයක් ලෙස මාලිමාව මතුවූ බව ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (12) කුරුණෑගලදී පැවති ව්‍යාපාරික හමුවක් අමතමිනි.
එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.
“මාලිමාව නැගලා ආවේ සම්ප්‍රදායික විපක්ෂයට වැඩ කටයුතු කරන්න බැරිවුන නිසා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමා.”
“විපක්ෂ නායකවරයා කිසි දවසක වෙන පක්ෂයක් නැගලා එන්න ඉඩ දෙන්න හොඳ නෑ. ඒකට ඩඩ්ලි සේනානයක මැතිතුමා ඉඩ දුන්නේ නෑ. බණ්ඩාරනායක මැතිනිය ඉඩ දුන්නේ නෑ. ජේ.ආර්.ජයවර්ධන ඉඩ දුන්නේ නෑ. මහින්ද රාජපක්ෂ ඉඩ දුන්නේ නෑ. මමත් ඉඩ දුන්නේ නෑ.”
“තමන් විපක්ෂ නායක වෙලා තව පක්ෂයක් බලවත් වෙන්න දෙනවා නම් තව මොනවා කරන්න ද. ඇත්තවශයෙන්ම වැඩේ කරන්න බෑනේ.” ජනාධිපතිවරයා කිවේය.