ආන්දෝලනාත්මක 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටකිරීමේ සිද්ධියට අදාලව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්යක්ෂ ඊ.ජී.එස් ප්‍රේමතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල දී අත් අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල තිත්තවැල්ල දෙවටපාරේ පිිහිටි ඔහුගේ නිවසේ දී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත්තේ ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න තුනක් තමන්ට හිතවත් ටියුෂන් ගුරුවරයෙක් වෙත ලබා දී ඇති බවට විමර්ශන අංශ විසින් හෙළිදරවු කරගැනීමත් සමගය.
ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව ආදර්ශ ප්‍රශ්න ලෙස එක්තරා ටියුෂන් ගුරුවරයෙක් තමන්ගේ සිසුන් වෙත ලබා දුන් ප්‍රශ්න ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ තිබීම සම්බන්ධව දරුවන්ගේ දෙමව්පියෝ විශාල විරෝධයක් දැක්වූහ.
පිරිසක් උද්ඝෝෂණයක යෙදුන අතර තවත් පිරිස් විභාග දෙපාර්තමේන්තුවට පැමිණ මේ සම්බන්ධව පැමිණිලි කළහ.
විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ විධිමත් විමර්ශනයකින් අනතුරුව ගැටලුවේ ස්වරූපය තක්සේරු කර අවශ්‍ය වුවහොත් විභාගය යළි පැවැත්වීමට වුවත් නොපසුබට වන බවය.
-lankacnews