මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට තමා රට වටේ ගිය කෙනෙක් බවත් තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ගේන්න එපා කියපු කෙනෙක් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.
නාමල් රාජපක්ෂ පරදින බවත් පරදින බව දැන දැනම එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බවත් දිනන අපේක්ෂකයෙකුට උදව් කර රටේ පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩගන්න සහයෝගය දිය යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග තවදුරටත් සදහන් කළේ,
“2015 දී මහින්ද මහත්තයා පැරදුනාම අපේ පක්ෂයේ තනතුරුලාභීන් මහින්ද මහත්තයා අතහැරලා ගියා. ඒ වේලාවේ එකම ධූර ධාරියා ලෙස මම මහින්ද සුළඟ අරගෙන රට වටේ ගියා. එතුමා යුද්ධය අවසන් කළ නිසා යුතුකම් ඉටු කරන්න ඕනි නිසා අපි ඒ දේ කළා.
අපිට හැමදාම වැරදුන තැන් තිබුණා. අපි විපක්ෂයේ ඉන්නකොට සියළු දෙනා එකට එකතු වී කටයුතු කළා. බලයට ආවම ඒ දේ නැති වෙනවා. මහින්ද මහත්තයා බලයට ගේන්න පොහොට්ටුව හදන්න මම රට වටේ ගිය කෙනෙක්.
2019 ජනාධිපතිවරයට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ගේන්න එපා කියපු කෙනෙක් මම. එතුමා තරඟ කරන්න බැහැයි කියද්දිත් පවුලේ සියළු දෙනා එකතු වෙලා කතා කරා ගෝඨාභය මහත්තයා දාමු කියලා.
ඒ වෙලාවෙත් අපි ඒකට එකඟ වුණා. අපි එතුමාව ජයග්‍රහණය කරා ගෙන ගියා. ඉන්පසු අපි පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කළා. අපි බලය පිහිටුවලා කටයුතු කරන්න පුළුවන් වුණේ අවුරුදු දෙකයි. අපේ නායකයෝ අපිව දාලා ගියා.”
නිකවැරටිය ආසනයේ ජනාධිපතිවරණ ඒකාබද්ධ කමිටු පිහිටුවීමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සදහන් කරයි.