මව්බිමේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය, සුරැකීම උදෙසා මහා සඟරුවනේ ආශිර්වාදයෙන්, වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහා සත්‍යක්‍රියාව හා අධිෂ්ඨාන පූජාව ම.එ.පෙ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්වන වරටත් ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේදී සිදුකෙරිණි.
මෙහිදී අනුශාසනා කළ, කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි –
“ඓතිහාසික කිරි වෙහෙර සෑ මළුවේ මේ සිදුකරන්නේ ඓතිහාසික වටිනා පින්කමක්.
අග්‍රාමාත්‍යතුමන්, අපේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා මෙහෙවරක් සිදු කරන්නට යෙදුණු, අපේ රටේ සියලු දෙනාගේ ජනාදරයට පාත්‍ර වූ අග්‍රාමාත්‍යවරයෙක් හැටියට අප කවුරුත් දැනගෙන හඳුනගෙන තියෙනවා. එදා වසර තිහකට කළින් ආරම්භ කළ පින්කම දීර්ඝ කාලයක් පුරා කිරි වෙහෙර පුදබිමේ පවත්වන මහා වටිනා කියන පින්කමක් බවට පත්වෙලා තියෙනවා.
ආචාර්ය අලුත් වැව ශ්‍රී සෝරතාභිධාන අපගේ ගුරු දේවයන් වහන්සේගේ සමය තුළ දිනේෂ් ගුණවර්ධන මැතිඳුන්ගේ මූළිකත්වය යටතේ රටවාසී සියලු දෙනාට ආශිර්වාද කරන්නට අරමුණු කරගෙන මේ උදාර වූ පින්කම එදා ආරම්භ කරන්නට යෙදුණා. අපේ නායක ස්වාමීන් වහන්සේ දශක දෙකක් පුරා මේ පින්කම පවත්වාගෙන යන්නට අවවාද අනුශාසනා ලබා දුන්නා. ඒ අනුශාසනා දායකත්වය ලබා දෙන්න අපටත් පුළුවන් වුණා.”
මෙහිදී අදහස් දැක්වූ ම.එ.පෙ. නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා –
“අපේ රටේ සම්බුද්ධ ශාසනයේත්, මාතෘ භූමියේත් ඒකීයභාවය සඳහා මේ පින්කම වසර 30 ක් පුරා අඛණ්ඩව පවත්වනු ලබනවා. ඒ තුළින් මහා සඟරුවනගේ ආශිර්වාදය මහජනතාවට සහ ජාතියට ලබාදීම සඳහා දායක වූ සැම ගෞරවයෙන් සිහිපත් කරනවා. අපවත් වී වදාළ අලුත්වල සෝරත නායක ස්වාමීන් වහන්සේ අප සිහිපත් කරනවා.
කිරිවෙහෙර මහා පුණ්‍ය භූමිය, ශතවර්ෂ ගණනාවක අධිෂ්ඨාන ශක්තියෙන් අපේ ජාතිය ඔපවත් කළා. ඒනිසාම තිස් වසරක් පුරා අඛණ්ඩව මෙම පින්කම පවත්වාගෙන යාමට අපට පුළුවන්කම ඇතිවුණා.
දුක්බර සහ සැහැල්ලු අවස්ථාවන් හරහා මේ පින්කම් මාලාව අඛණ්ඩව ගෙන යාමට මහා සඟරුවන දක්වන ලද ආශිර්වාදය රටේ විවිධ ජාතික සංවිධාන අපත් සමග එකතු වීමෙන් දැක්වූ ආශිර්වාදයේ ගොනුව ජයග්රහණයෙන් ජයග්‍රහණයටත්, අලුත් විශ්වාසයක් ඇති කිරීමටත්, රටක් ගොඩනැගීමේ අභිප්‍රාය සඳහා කැපවන්නටයි.
කුමන කරදර බාධක මධ්‍යයේ වුවත්, අපි වසර තිහක් පුරා අඛණ්ඩව මේ මහා පින්කම පවත්වනු ලැබුවා. අපේ රටේ අමාරු කාල පරිච්ඡේදයන් තුළ රටේ හිටපු නායකයින් මාතෘ භූමිය ආරක්ෂා කරන්නට ගනු ලැබූ උත්සාහයන් අප කිසිලෙසකින් අමතක කරන්නේ නැහැ. මේ පුණ්‍ය භූමිය වටා ඇති කරන ලද පින්කම් මාලාවන් රට පුරා ගමින් ගමටත් එලෙසම සිදුවුණා.
මාතෘභූමියේ එක් සේසත්කම ඇති කරන්නට දිවිඳුන් උතුම් රණවිරුවන් අපි අදත් සිහිපත් කරනවා. මහා පරිත්‍යාගයන්ගේ ජයග්රහණයන් මත අදත් රට එක්සේසත්ව පවතිනවා. විශේෂයෙන් අමාරු කාලපරිච්ඡේදයකට මුහුණ දුන් අපේ ජනාධිපතිවරු සියලු දෙනා ඇති කළ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට මහජනතාව බැඳී සිටිනවා.
අද දින මේ ලබා දෙන ප්‍රතිඥාව පරිදි අපේ රටේ ගොවි ජනතාවටත්, අපේ රටේ වැඩ කරන ජනතාවටත්, අපේ තරුණ, ශිෂ්‍ය සහ කාන්තා පරම්පරාවටද අනාගතය වඩාත් විශ්වාසවන්ත බවට පරිවර්තනය කිරීමටත් හැකිවේවා කියා අප අධිෂ්ඨාන කරනවා. කඩා වැටුණු රටක් එලෙස පරිවර්තනය කරන්නට යෙදෙන දැවැන්ත සමගිය සහ උත්සාහය සාර්ථක කර ගන්නට ශක්තිය ධෛර්යය මේ මහා පින්කමින් ඇති වේවා.”
කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, කතරගම අභිනවාරාමාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි, සංඛපාල විහාරාධිකාරී පූජ්‍ය කොකාවල කෝසල හිමි, කිරුළපන පුෂ්පාරාමාධිපති පූජ්‍ය ඇල්කඩුවේ නාගිත හිමි, කෝට්ටේ නාග විහාරාධිකාරී පූජ්‍ය කොටහේනේ නාරද හිමි ඇතුළු ගරුතර මහා සඟරුවන, හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, චමල් රාජපක්ෂ, ම.ඒ.පෙ ප්‍රධාන ලේකම් තිස්ස යාපා ජයවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ජගත් පුෂ්ප කුමාර, අශෝක ප්‍රියන්ත, ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර, ජාතික සංවිධාන, විද්වත් සංවිධාන, බැතිමතුන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.
– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය