වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මන්නාරම රෝහලේදී මියගිය තරුණ උපාධිධාරීනියගේ සැමියා බිරිද මියයාමේ ශෝකයෙන් ඊයේ ( 24 ) සියදිවි හානි කරගෙන තිබේ. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වවුනියාවේ පනිච්චපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි එස්.සුතාන් නැමති තරුණයෙකි.
කනේරු ඇට කෑමෙන් පසුව බරපතල ලෙස රෝගී වී ඇති ඔහු වහාම වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇතත් මියගොස් තිබේ.
සිය දිවි නසාගත් තරුණයාගේ බිරිය වූ මරියරාජ් සින්ධුජා මන්නාරමේ මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය මුරුන්කන් රෝහලේදී දරුවකු ප්‍රසූත කළ අතර ආපසු නිවසට යාමෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් යළි මුරුන්කන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයව මන්නාරම රෝහල වෙත මාරු කොට යවා තිබිණ.
එහිදී ඇය ඇතුළත් කළ වාට්ටුවේ කාර්යබාර වෛද්‍යවරයා හා හෙදියන් ඇතුලු කාර්ය මණ්ඩලය මේ සිද්ධිය සාමාන්‍ය රුධිරය වහනය වීමක් ලෙස සලකා රෝගී කාන්තාවට ප්‍රතිකාර ලබා දී නොමැත.
පැය කීපයකට පසුව එම කාන්තාව මියගිය අතර ඇගේ මව වීසින් ජනාධිපතිවරයාගේ සිට සියලුම බලධාරීන්ට පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් ආරම්භ වුණි.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා හා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එම පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී එදින සේවයේ නිරතව සිටි මන්නාරම රෝහලේ කාර්යබාර වෛද්‍යවරයා හෙදියන් දෙදෙනෙකු හා පවුල් සෞඛ්‍ය සේවිකාවක් වරදකරුවන් බවට හදුණා ගෙන ඔවුන්ගේ සේවය අත් හිටුවා තිබේ.
ඇය මියගියදා සිට දැඩි ශෝකයෙන් පසු වූ සැමියා මෙසේ සියදිවි හානි කරගෙන තිබේ. වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත..
- දිනසේන රතුගමගේ
lankasara