ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක හා දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ගේ නිවස හා ඒ අවට ප්‍රදේශය පුරා මේ දිනවල රාත්‍රී කාලයට සන්නද්ධ පිරිසක් යතුරුපැදි වලින් ගමන් කරණ බව මන්ත්‍රීවරයා ඊයේ ( 7 ) පැවසීය.
මේ පිරිස මුහුණු හා හිස් රෙදි වලින් ආවරණය කරගෙන හිස්වැසුම් පැළද යතුරු පැදිවල ගමන් ගන්නා ආකරය සටහන් සී.සී.ටීවී කැමරා දර්ශන තමන් සතුව ඇතැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මේ පිළිබදව පොලීසියට පැමිණිලි කිරීමෙන් පලක් නොමැති බව කී මන්ත්‍රීවරයා මීට ඉහතදීද එවැනි පැමිණිල්ලක් කිරීමෙන් පසුව ආරක්ෂක අංශ සාමාජිකයින් 200 ක් පමණ එකවර තමන්ගේ නිවසට කඩා වැදී නිවස පරීක්ෂා කළ අන්දම මන්ත්‍රීවරයා විස්තර කළේය.
පොලීසියට තමන් මේ බව ප්‍රකාශ නොකලද කථානායකවරයාට තමන්ගේ අනාරක්ෂිතභාවය හා ජීවිතයට යම් තර්ජනයක් එල්ල ඇති බව සඳහන් කරමින් ලිපියක් යැවු බව මන්ත්‍රී වරයා සදහන් කළේය.
මේ දිනවල තමන් විදේශ සංචාරයක් නිසාත් දෙමළ ජාතික සන්ධානයේ නායකයාගේ අභාවය නිසාත් දැඩි කාර්ය බහුල තත්ත්වයක සිටින නිසා ඒ ගැන යළි සොයා බැලීමට නොහැකි වූ බව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේය.
ඉතාම ඉක්මනින් තමන් කිළිනොච්චියට ආපසු පැමිණි පසුව රාත්‍රියේ හොල්මන් කරන මේ පිරිස තව දුරටත් සිටින්නේ නම් තමන්ගේ ආරක්ෂක නිලධාරීන්ගේ හා ගම්වසීන්ගේ සහය මත ඔවුන්ව අල්ලා ගැනීමට පියවර ගන්නා බවද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
යතුරු පැදි පහක නැගුණු පුද්ගලයින් 9 දෙනෙකු තම නිවස වටා ඇති මාර්ගයේද ගේට්ටුව ඉදිරි පිටින්ද වාර කීපයක්ම රාත්‍රී කාලයට ගමන් කරණ බව පැවසූ මන්ත්‍රීවරයා ඔවුන් යම් හෙයකින් ඔත්තු බලන පිරිසක් විය හැකි බවද කියා සිටියේය.