ඊයේ (25) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී සාකච්ඡාවට ගැනුණු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ සේවය අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ වාරණය නියෝගය සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වූ අතර අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සම්බන්ධයෙන් යම් විරෝධතා ඉදිරිපත් කළේය.
ඊට පිළිතුරු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, ඉතිහාසය පුරා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝග දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තුවේදී අභියෝගයන්ට ලක් නොකළ බවත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් පමණක් එවැනි ප්‍රකාශ නිකුත් කිරීම වැරදි සහගත බවත්ය.
එහිදී ජයසේකර මන්ත්‍රීවරයා කථානායක මහින්ද යාප අමතමින් පවසා සිටියේ මේ රටේ ඉතිහාසය පුරා හිටපු ජනාධිපතිවරු තම ධූර කාලය අවසානයේදී නඩු සඳහා විත්තිකරුවන් වී ඇති බවත් ඒ සම්බන්ධව මතකයේ තබාගෙන කටයුතු කිරීම ඉතා වැදගත් බවත්ය.