මහනුවර – වත්තේගම මගී ප්‍රවාහන බස් රථයක් තුළ දී කාන්තාවකගේ කොණ්ඩයෙන් අඩියක පමණ කොටසක් කපා දැමූ මව්ලවි කෙනෙක් ලෙස සැලකෙන මුස්ලිම් පූජකයෙක් මහනුවර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකාර පූජකයා තම කොණ්ඩය කපා දැමීම පිළිබඳ වින්දිත කාන්තාව කපා දැමූ සිය කොණ්ඩයේ කොටස ද සමග මහනුවර පොලිසියට පැමිණ ඊයේ (13) දැමූ පැමිණිල්ලකින් අනතුරුව අදාල පූජකයා ඊයේ පස්වරුවේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවන පරදි සිද්ධිය මෙසේය.
27 හැවිරිදි වින්දිත තරුණිය ඊයේ (13) මහනුවර – වත්තේගම මගී බස් රථයක ගමන් කරමින් සිට ඇත. තමන්ට පසුපස අසුනේ සිටි උක්ත පූජකයා කටුගස්තොට වට්ටාරන්තැන්න මංසන්ධිය ආසන්නයේ දී කතුරකින් සිය කොණ්ඩය කපා දැමූ බව ඇයට දැනී තිබේ.
ඒ බව දැනුන වහාම කෑ ගැසූ තරුණිය සිද්ධිය සම්බන්ධව බස් රථයේ සෙසු මගීන් දැනුම්වත් කර ඔවුන් ගේ සහය ඉල්ලා ඇත. එම අවස්ථාවේ කොන්දොස්තරවරයා සහ මගීන් කිහිප දෙනෙකු පැමිණ සැකකරු අල්ලාගෙන තිබේ.
අනතුරුව බස් රථයේ පිටුපස දොරට අගුළු යොදා ඉදිරිපස දොර අසළ පුද්ගලයින් කිහිප දෙනෙකු රඳවාගත් රියදුරු සහ කොන්දොස්තර මගීන් බස් නැවතුම් පොළ වල බස්සවමින් බස් රථය මහනුවර පොලීසිය වෙත ධාවනය කරවා ඇත.
කපා දමන ලද අඩියක පමණ දිග කොණ්ඩා කොටස ද සමඟ කාන්තාව මහනුවර පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකින් පසු සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකාර පූජකයා මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳ මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.