හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධව සිදු කළ අනාවරණයකින් අනතුරුව වැඩ තහනමට ලක් වූ විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීවගේ වැඩ තහනම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට පාර්ලිමේන්තු මහජන පෙත්සම් පිළිබඳ සභාව තීරණය කොට ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා හා හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ බලපෑම මත මෙම වැඩ තහනම සිදුකර ඇති බව අභ්‍යන්තර තොරතුරු අනාවරණය කොට ඇති අතර මෙම වැඩ තහනම සිදු වූ අනීතික භාවය නිසා තමන් යළි සේවයේ පිහිටුවීම සිදු කළද මින් ඉදිරියට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන නිලධාරීවාදය පරාජයට පත් කිරීම සඳහා මෙම විමර්ශනය සිදු කරන ලෙස චමල් සංජීව පාර්ලිමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බවද වාර්තාවේ.
මේ අනුව හෙට (9) දා හවස 2.00ට මේ සම්බන්ධ විමර්ශනය පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ශාලාවේ පැවැත්වෙන බව ද සදහන් වේ.
තමාගේ වැඩ තහනම් කිරීම සඳහා මෙතෙක් තමන්ට චෝදනාව ඔප්පු කිරීමට නොහැකි වූ විවිධ පුද්ගලයන් විසින් යොමු කරන ලද පෙත්සම්පවා පාදක කරගෙන ඇති අතර මේ ආකාරයට නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීම සිදුකළ නොහැකි බැවින් වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා සහ නිලධාරීන් කැඳවා ප්‍රශ්න කරන ලෙස වෛද්‍ය චමල් සංජීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා කර ඇති ඉල්ලීමට අනුව මෙම විමර්ශනය සිදුකිරීමට පියවර ගෙන ඇතැයිද පැවසේ.
හිටපු දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජී . විජේසූරිය විසින් යොමු කරන ලද පෙත්සමක් මත සිදු කරන ලද එක් විමර්ශනයක් වසර හතක් ගත වූ නමුත් තවමත් අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතුවලට පවා බාධා ඇතිවී ඇති බව වෛද්‍ය චමල් පෙන්වා දී ඇත.