gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්ලබ් වසන්තගේ ශරීරයේ කංජිපානි සළකුණු කල උණ්ඩ.. වසන්තගේ බිරිදගේ බෑගයේ ගිනි අවියක්..

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර පිරිසක් අද (08) සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් නොහොත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන්‍ගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පලකර තිබේ.

ඒ අපරාධය වූ ස්ථානයේ තිබී සොයාගත් පතොරම් කොපු කිහිපයක ”KPI” ලෙස යෙදුමක් සඳහන්ව තිබූ නිසාය.

අතුරුගිරිය නගර මංසන්ධියේ ඔරලෝසු කණුවේ සිට ඔරුවල පාරෙහි මීටර් 50ක පමණ දුරකින් පිහිටි එම ගොඩනැගිල්ලේ උඩුමහලේ, සමෙහි පච්ච කෙටීම සිදුකරන, එනම් ටැටූ ආයතනයක් විවෘත කෙරුණේ අද පෙරවරුවේය.

ඒ ටැටූ නිර්මාණකරුවෙකු බව කියන දුලාන් සංජුල නමැත්තෙකු විසිනි.

ඊට ප්‍රධාන ආරාධිතයින් ලෙස, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ ඔහුගේ බිරිඳ මෙන්ම ජනප්‍රිය ගායන ශිල්පිණී කේ. සුජීවා යන මහත්ම මහත්මීන් ආරාධනා ලැබ තිබුණි.

වෙඩිතැබීම සිදුව තිබුණේ එම උත්සවය අතරතුරය.

වෙඩි තැබීම සිදුවන අයුරු CCTV කැමරාවලද සටහන්ව තිබුණි.

ඔරුවල පාර ඔස්සේ පෙරවරු 10.15ට පමණ පැමිණි සුදු පැහැති මෝටර් රථයක් ඔරලෝසු කණුව වටරවුමෙන් නැවත ඔරුවල පාරටම හරවා එම ගොඩනැගිල්ල අසල මාර්ගයේ නතර කරන අයුරු එහි සඳහන්ය.

පසුව ගිනිඅවි අතැති දෙදෙනෙකු උඩු මහලේ ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වී වෙඩිතබන ආකාරය CCTV කැමරාවලද සටහන්ව තිබුණි.

මුව ආවරණ පැළඳ ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වූ වෙඩික්කරුවන් එහි සිටි පිරිසට නොනවත්වා වෙඩි ප්‍රහාර එල්ල කරයි.

වෙඩි ප්‍රහාරය අතරතුර ඉන් බේරීම සඳහා පුද්ගලයෙක් සැඟවෙන අයුරු දැකගත හැකි අතර ඔහු ක්ලබ් වසන්තගේ පෞද්ගලික ආරක්ෂකයා බව වාර්තා වෙයි.

ප්‍රහාරයෙන් 6 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් යුහුසුලුව රෝහල්ගත කරනු ලැබීය.

ටැටූ නිර්මාණකරණයේදී සේවාදායකයා අසුන් ගන්නා එම අසුනට පිටුපසින් පිහිටි බිත්තියට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අයුරු එම ඡායාරූපයෙන් දැකගත හැකිය.

එහි යම් අයෙකු අසුන්ගෙන සිටියේ, නම් එම තැනැත්තාගේ හිස සීමාවෙන්ද බිත්තියට උණ්ඩ වැදී ඇති අයුරු දිස්වෙයි.

ටැටූ මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක දැක්වෙන්නේ ගායන ශිල්පිනී කේ. සුජීවා, ක්ලබ් වසන්ත සහ ඔහුගේ බිරිඳ ටැටූ මධ්‍යස්ථානයේ අසුන්ගෙන සිටි ආකාරයයි.

ඊට අමතරව එම මධ්‍යස්ථානයේ පිහිටි අසුන් අසල රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු කිහිපයක්ද දැකගත හැකිවුණි. 

උත්සවයේ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ ජනප්‍රිය ගායන ශිල්පී කේ. සුජීවා මහත්මිය ද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබීය.

තුවාල ලැබූ 55 හැවිරිදි ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ වන 42 හැවිරිදි මැණික් විජේවර්ධන සහ තවත් පුද්ගලයෙක් හා කාන්තාවක් ඇතුළත් කෙරුණේ හෝමාගම මූලික රෝහලටය. 

රෝහල්ගත කිරීමෙන් පසු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ අතුරුගිරිය – රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි නයන වාසුල විජේසූරිය යන දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ අතර ඒ අතරින් ක්ලබ් වසන්තගේ බිරිඳට සැත්කමක් සිදුකළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගායන ශිල්පිණී කේ. සුජීවා සහ තවත් අයෙක් ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.

කේ. සුජීවාගේ පාදවලට බරපතළ තුවාල සිදුව ඇති අතර ඇය අද දහවල් සැත්කමකට ලක්කර තිබේ.

අනෙක් පුද්ගලයාගේ පිට ප්‍රදේශයට වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර ඔහුද සැත්කමකට ලක්කළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය ක්ලබ් වසන්ත නමැත්තා වී ඇති බව පොලීසිය පවසයි.

ඝාතකයන් පැමිණි මෝටර් රථයේ රියදුරාද ඇතුළුව සිව් දෙනෙකු සිට ඇති බවත් ඉන් දෙදෙනකු ගිනිඅවි අතැතිව උඩු මහලට යද්දී තවත් අයෙක් ටී 56 ගිනිඅවියක් සමඟ මෝටර් රථයේ රැඳී සිට ඇති බව වාර්තාවෙයි.

වෙඩි තබා පළාගිය ඝාතකයන් සිය මෝටර් රථය කොරතොට ප්‍රදේශයේදී නවත්වා වෙනත් වෑන් රථයකට මාරු වී ඇති බව පොලීසිය පවසයි.

වෑන් රථයෙන් තවත් ප්‍රදේශයකට ගිය සැකකරුවන් එහිදී තවත් මෝටර් රථයකට නැග පළාගොස් ඇතැයි පොලීසිය මෙතෙක් සිදුකළ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

එමෙන්ම, සැකකරුවන් පැමිණි සහ පළාගිය සියලු වාහනවල සවිකර ඇත්තේ ව්‍යාජ අංක තහඩු බව පොලීසිය පවසයි.

එම මොටර් රථය එකලස් කළ එකක් බවද පොලීසිය පැවසීය.

පළාගිය සැකකරුවන් සොයා ගැනීමට බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 6ක් මේ වනවිට යොදා තිබේ.

මේ අතර, වෙඩි තැබීම සිදුකළ ස්ථානය  කඩුවෙල වැඩ බලන මහෙස්ත්‍රාත් ඩී.පී.ජී.කරුණාරත්න මහතාගේ පරීක්ෂාවට අද පස්වරුවේ ලක් කෙරුණි.

ඝාතනයට ලක්වූ ක්ලබ් වසන්තට අයත් බව කියන ගිනිඅවියක් ද එම ස්ථානයේ තිබී සොයා ගැණුනි.

කෙසේ වෙතත් එම මධ්‍යස්ථානය ආරම්භ කළ ටැටූ නිර්මාණකරු දුලාන් සංජුල නමැත්තාට වෙඩි තැබීමෙන් හානි සිදුව නොමැත.

මෙම ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත එම ස්ථානයට සම්බන්ධ කරගත්තේ සැලැස්මක් අනුව දැයි පොලීසිය සැක පළ කරයි.

කෙසේවෙතත් අද පස්වරුවේ පැවති පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ මෙම වෙඩිතැබීම විදෙස් රටක සිට සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

මෙය සැලසුම් සහගත වෙඩිතැබීමක් බවත්, කලක සිට පැවති මතභේදයක් වෙඩිතැබීමට හේතුවිය හැකි බවට පොලීසිය සැකපළ කරන බවත් ඒ මහතා පැවසීය.

වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවත් රටින් පැන ගොස් ඇතැයි කිසිදු සාක්ෂියක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.

මේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳගේ ගමන් මල්ලේ තිබී රිවෝලර්වරයක් සොයාගත් බවත් එය ලියාපදිංචිකර ඇති ද යන්න සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව ද නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මීට පෙර ද 2017 වසරේ එම ස්ථානයේ සැලුන් එකක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහිදී ද මෙවැනිම වෙඩිතැබීමක් සිදුවූ බවත් නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka