gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයට හමුදා බුද්ධි අංශ සම්බන්ධයි… එවකට හමුදාපති මහේෂ් සේනානායකත් මේ අපරාධය ගැන නොදැන ඉන්න බෑ… හිටපු CID ප්‍රධානී රවී සෙනවිරත්නගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

පාස්කු  ප්‍රහාරය පසුපස කුමන්ත්‍රණයක් වූවා සේම  ඊට හමුදා බුද්ධි අංශ කණ්ඩායමක සම්බන්ධයක් ඇතැයි විමර්ශනවලදී හෙළිදරව් වූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන සිදුකළ ප්‍රධානියා ලෙස වගකීමකින් ප්‍රකාශ කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිතරත්න ඊයේ (23) කොළඹ දී  විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

ඔහු හෙළි කළේ මෙම ප්‍රහාරය පසුපස අයි.එස්.අයි.එස් සම්බන්ධයක් නොතිබුණ බවය. එමෙන්ම මේ ප්‍රහාරය සිදුවනවිට හමුදාපතිවරයාව සිටි මහේෂ් සේනානායක මේ කුමන්ත්‍රණය සම්බන්ධව දැනගෙන සිටිය යුතුයැයි කී  හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුදාපතිවරයා නොදැන එවැනි බුද්ධි කණ්ඩායමක් හමුදාව තුළ ක්‍රියාත්මක වුනා නම්  එය පාස්කු ප්‍රහාරය සේම  අතිශය බරපතල තත්ත්වයෙන් සැලකිය යුත්තක්  බව ද පෙන්වා දුන්නේය.

පසුගිය ජූනි 09 වැනිදා ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී,  හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු  අධ්‍යක්ෂ,  හිටපු ජ්‍යේෂඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එකතු වීමෙන් අනතුරුව හිටපු හමුදාපති මහේෂ් සේනානායක බලංගොඩදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසුවේ පාස්කු ප්‍රහාරය වැළැක්වීම මගහැරීමට  රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර සම්බන්ධ බවය.  අනතුරුව ඒ සම්බන්ධව දීර්ඝ විස්තරයක් ද හිටපු හමුදාපතිවරයා කළේය. ඔහු ප්‍රකාශ කළේ අවුරුදු 160ක  පොලිස් ඉතිහාසයේ සිදුවූ අපකීර්තිමත්ම සිද්ධිය රවී ලා සහ ශානි ලා ජාතික ජන බලවේගයට දේශපාලනය කිරීම සඳහා එකතුවීම බවය.

ඊයේ මාධ්‍ය හමුවේ දි තමන් ඇතුළු කණ්ඩායම ජාතික ජන බලවේගය හා සම්බන්ධවන්නේ කුමණ හේතුවක් නිසාදැයි පැහැදිලි කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී රවී සෙනවිරත්න   මහේෂ් සේනානායක හමුදාපතිවරයාගේ ක්‍රියා කලාපය සහ හමුදාවේ බුද්ධි අංශ පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූ ආකාරය සම්බන්ධව අතිශය ආන්දොලනාත්මක හෙළිදරව්වක් කළේය.

අප කරනු ලබන්නේ එම හෙළිදරව් කිරීම ඒ ආකාරයෙන්ම වාර්තා කිරීම පමණය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිතරත්න එම හෙළිදරව් කිරීම මෙසේ සිදුකළේය.

වව්නතිව් සිද්ධිය බුද්ධි අංශ විසින් වසා දැමීම

“පාස්කු ඉරුදින ප්‍රහාරය තනි එකක් නෙමෙයි. ඒක ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලය.  මුලින්ම වෙන්නේ වව්තිව් පොලිස් මුරපොලක නිලධාරීන් දෙන්නෙක් 2018 දි  නොවැම්බර් මාසේ 30 දා ඝාතනය වෙනවා. ඒ ඝාතනය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවනු ලැබුවේ ශානි අබේසේකර මහත්මයා. සිද්ධිය වෙච්චි දවසට පහුවෙනිදා එවකට හිටිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්මයත් මමත් නියෝජ්‍ය පොලිස්පති සරත් පීරිස් මහත්මයත්   ගියා ඒ ප්‍රදේශයට. ගිහින් පරීක්ෂා කරලා බැලුවා.

ඒ වෙලාවේ අපට හම්බවුනා රාජ්‍ය බුද්ධි අංශය, යුද හමුදා බුද්ධි අංශය, විශේෂ කාර්යාංශය නිලධාරීන් අපට හම්බවුනා.  ඒ අය එක්කත් සාකච්ඡා කළා. ඒ හැම දෙනෙක්ම අපට දැනුම් දුන්නේ මේක හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ ක්‍රියාවක් කියලා. නමුත් සීඅයිඩි එක විමර්ශනය බෙහොම විවෘතව ඉදිරිපත් වෙලා තියන සාක්ෂි මත කරගෙන ගියා.

ඒ අවස්ථාවේ අපට බුද්ධි අංශවලින් ලිඛිතව වාර්තා ඉදිරිපත් කළා මේක හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ක්‍රියාවක්. ඒකට ඒ අය හේතුත් දක්වලා තිබ්බා. නමුත් ඒක එල්ටීටීඊ ක්‍රියාවක් නෙමෙයි. සහරාන්ගේ කණ්ඩායමේ ක්‍රියාවක් . පසුව කළ විමර්ශනවලදී විශේෂයෙන්ම  ප්‍රහාරයෙන් පස්සේ ඒක හෙළිදරවු වුනා.

ඒ විමර්ශනය කරගෙන යද්දි ඒ අපරාධ ස්ථානයට නුදුරින් ජැකට්ටුවක් තියනවා කියලා ඒත් බුද්ධි අංශයෙන් තොරතුරක් ලැබුණා. ඒ ජැකට්ටුවත් ඒ විමර්ශන නොමග යවන්න කරපු එකක් බව පසුව කරන ලද විමර්ශනවලදී තහවුරු වුනා.

ඇයි මේ විමර්ශන නොමග යවන්න ක්‍රියා කළේ ඇයි. ඒ විමර්ශන හරියට ගියානම් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ කණ්ඩායම පිළිබඳව තොරතුරු ඒ අවස්ථාවේදීම හෙළිදරවු වෙනවා. ඒ නිසා කිසියම් කණ්ඩායමකට ඕන උනා මේ විමර්ශන නොමග යවලා මේක නතර කරන්න.  ඒ නිසයි මම කියන්නේ මෙහි කුමන්ත්‍රණයක් තියනවා කියලා.

යුද හමුදාපති මහේෂ් සේනානයක රාජ්‍ය නායකයාත් නොමග යැව්වා

ඒ වගේම මහේෂ් සේනානායක මහත්මයා   ඔය කොස්තාපල්වරුන් දෙදෙනාගෙ ඝාතනය ගැන   අපට චෝදනාවක් කරනවා විමර්ශන නොමග ගියා කියලා කියමින් හිටියා මිසක් වැඩේ කළේ නෑ කියලා. මේක එල්ටිටිඊ සංවිධානයෙන් වුන වැඩක් කියලා ඔවුන් අපට දැනුම් දුන්නේ නෑ කියලාත්  කියනවා.

නමුත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිරු නාලිකාවත් එක්ක කරන ලද සාකච්ඡාවක් තියනවා.  ( රවී සෙනවිතරත්න හඬ පටයක් ක්‍රියාත්මක කරවයි. එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේන හිරු නාලිකාවට පැමිණ  වව්නතිව් සිද්ධිය එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකළ බවට එවකට හමුදාපති මහේෂ් සේනානායක සිය නිවසට විශේෂයෙන් පැමිණ ප්‍රකාශ කළ බව පවසන ආකාරය ඇසේ.)
“ බුද්ධි අංශය සීඅයිඩි එක විතරක් නෙමෙයි, එතකොට රටේ හිටිය ජනාධිපතිවරයාටත් මහේෂ් සේනානායක අසත්‍ය තොරතුරක් වාර්තා කළේ. ඔහු අපව විතරක් නෙමෙයි රටේ ජනාධිපතිවරයාවත් නොමග යවලා තියනවා.  මීට වඩා ඒ ගැන කියන්නේ නෑ. “


“නමුත් වව්නතිව් සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත් අඩංගුවට අරන් ඉවරයි. ඒ අයට විරුද්ධව අධිකරණයේ නඩුවක් ආරම්භ වෙලා තියනවා.”

වනාතවිල්ලුව සිද්ධිය සහ හමුදා බුද්ධි අංශ

මහේෂ් සේනානයක මහත්මයා තවත් කාරණාවක් කිව්වා. මාවනැල්ල බුදු පිළිමවලට පහරදීම ගැන හරි විමර්ශනයක් සිද්ධ වුනේ නෑ කියලා. මාවනැල්ල බුදු පිළිමවලට පහර දීම ගැන විමර්ශනය  මෙහෙයවූයේ ශානි අබේසේකර මහත්මයාමයි.  අද වෙනවිට  සැකකරුවන් අත් අඩංගුවට අරන් නඩු විභාගයත් කරලා දඬුවම් දීලත් ඉවරයි. ආයේ ඒ ගැන කතා කළ යුතු දෙයක් නෑ.

ඔහු සඳහන් කරනවා වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය. ඒක ගැන කියනකොට මට සඳහන් කරන්න ඕන කතාවක් තියනවා.  මාවනැල්ල බුදුපිළිම ගැන පරීක්ෂණ කරගෙන යද්දි එහි දිගුවක් ලෙස තමයි වනාතවිල්ලුවේ ඔය ආරක්ෂිත ස්ථානය සොයා ගෙන පුපුරණ ද්‍රව්‍ය ඇතුළු සැකකරුවන් සොයා ගන්නේ.  හැබැයි ඒ ස්ථානයට ශානි අබේසේකර යනකොට බුද්ධි අංශ  නිලධාරීන් එතෙන්ට ඇවිත් හිටියා. එතන ප්‍රශ්නයක් මතුවෙනවා.

වනාතවිල්ලුවේ ඔය වගේ කඳවුරක් තියනවා, පුපුරණ ද්‍රව්‍ය තියනවා, එතන පුහුණු වෙනවා කියලා බුද්ධි අංශ දැනගෙන හිටිය ද? කිසිම බුද්ධි අංශයකින් අපට දැනුම් දුන්නේ නෑ මේ වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා. හැබැයි ඒ ආසන්නයේ හමුදා කඳවුරකුත් තිබ්බා. හැබැයි අපරාධ පරීක්ෂණ නිලධාරින් ඒක හොයාගන්නකොට එසැනින් හමුදා බුද්ධි අංශ එතෙන්ට එනවා. සැකයක් මතුවෙන්නෙ නැද්ද ?

ඒ කටයුත්ත වෙනකොටත්   මහේෂ් සේනානායක මහත්මයා. ඒ මහත්මයා මේක දන්නේ නැද්ද?. ඒ මහත්මයා කිව්වා අවස්ථාවක එයා ඒක දන්නේ නෑ කියලා. ඒ මහත්මයා ඒක දන්නේ නැතිනම් ඒ මහත්මයාගෙ පාලනයක් නැතිව හමුදාවෙ බුද්ධි අංශ කණ්ඩායමක් ක්‍රියාත්මක වුනා ද?

මේ සිද්ධිය සම්බන්ධව අධ්‍යක්ෂවරයාගේ ඉල්ලිම පිරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් මම මහේෂ් සේනානායක මහත්මයට ලිඛිතව දැනුම් දුන්නා. මගේ ප්‍රශ්නය මේකයි.

මහේෂ් සේනානායක මහත්මයා නොදැනුවත්ව මේ කටයුතුවල යෙදිලා හිටිය බුද්ධි කණ්ඩායම් මහේෂ් සේනානායක මහත්මයාගේ පාලනයෙන් තොරව ද ක්‍රියා කළේ. එහෙමනම් ඒක බරපතල ප්‍රශ්නයක්.  හමුදාපතිවරයාගේ පාලනයට යටත් වෙන්නේ නැති කණ්ඩායමක් හමුදාවෙ හිටිය ද කියලා.

මම මේ සම්පූර්ණ හමුදාවට දොස් පවරනවා නෙමෙයි. බුද්ධි අංශයට දොස් පවරනවා නෙමෙයි. එක් කුඩා කණ්ඩායමක් හැම සිද්ධියටම ගෑවිලා හිටපු අන්දම විමර්ශනවලදි හෙළි දරවු වුනා. මා කියන්නේ ඒකයි.

මහේෂ් සේනානයක මහත්මයා සඳහන් කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තස්ලීන්ට වෙඩි තැබීමක් සම්බන්ධව. ඔවු.  ඔහුට වෙඩි තැබීමක් වුනා 2019 මාර්තු 10 වැනිදා. ඒ සිද්ධියට සම්බන්ධ සැකකරු  දැන් අත් අඩංගුවේ. ඔහුට විරුද්ධව නඩුවක් දැන් ආරම්භ වෙලා තියනවා.

ප්‍රහාරයට අයි.එස්.අයි.එස් සම්බන්ධයක් නෑ..

ඊළඟට එන්නේ පාස්කු හිරුදින ප්‍රහාරය.  2019 අප්‍රේල් 21 උදේ පාස්කු ඉරුදින ප්‍රහාරය සිද්ධ වුනා. ඊට කලින් ඒ ගැන තොතරුත් ලැබුණා. නමුත් ඒ ප්‍රහාරය සිද්ධ වුනා.  මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කළා. සහරාන්ගේ ලඟින් හිටිය  කණ්ඩායමේ සියලුම දෙනා අත් අඩංගුවට ගත්තා. ඒ අයට එරෙහිව දැන් නඩුත් පැවරෙනවා. අනික් තොරතුරු සියල්ල අපි අනාවරණය කරගත්තා.

මෙතනදි 2019 දි කියපු දෙයක් මම නැවතත් කියන්නම්. මෙම ප්‍රහාරයට අයිඑස්අයිඑස්  සංවිධානයේ සම්බන්ධයක් තියනවා කියන්න අපට තොරතුරු හෙළිදරව්  වුනේ නෑ.   මේ පිළිබඳව එවකට රජය විසින් මළල්ගොඩ කොමිසම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්, පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිසමක් දාලා  කරුණු සොයා බැලීම් කළා. මමත් මෙතන ඉන්න ශානි අබේසේකර මහත්මයත් ඒ හැම කොමිසමකම සාක්ෂි දුන්නා. එතනදි අපි කිව්වා පාස්කු ප්‍රහාරය පිළිබඳ යම් යම් සිදුවීම්වලදී, විමර්ශනය හා සම්බන්ධ සිදුවීම්වලදී යම් යම් බුද්ධි අංශ නිලධාරීන්ගේ සම්බන්ධතාවයක් හෙළිදරවු වුනා කියන එක. අපි ඒක කොමිසම් වලට කිව්වා. ඒ කියලා අපි ඉල්ලීමක් කළා ඒ  ගැන තව දුරටත් විමර්ශනය කරන්න කියලා.

පාලිත සිරිවර්ධනලාගේ චෝදනාව

ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධ කටයුතු කරද්දි  විශ්‍රාමික පොලිස් නිලධාරීන් පිරිසකුත් චෝදනාවක් එල්ල කළා විශේෂයෙන්ම පාලිත සිරිවර්ධන මහත්මයත්, සේනක කුමාරසිංහ මහත්මයත්. ඔවුන් කිව්වා පාස්කු ඉරුදින ප්‍රහාරයේ තොරතුර අප්‍රේල් 09 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවන මට එවලා තිබ්බා. ඒ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. ඒ වගේම සහරාන් පිළිබඳ විමර්ශනය කරනකොට කැකුණගොල්ල ප්‍රදේශයේ සී.අයි.ඩි කණ්ඩායමක් විමර්ශනයේ යෙදී සිටිය දී සහරාන් එම නිවසේ සිටියදීත් ඔවුන්ට ආපසු හැරී පැමිණීමට ශානි අබේසේකර නියෝග කළා කියලා ප්‍රකාශයක් කළා. ඒක සම්පූර්ණ බොරුවක්.

අප්‍රේල් 09 දින එවපු ලිපිය 2019 අප්‍රේල් 7 වැනිදා රෑ ඒ කියන්නේ 08 වැනිදාට එළිවෙන්න මම දිවයිනෙන් බැහැරව යනවා ප්‍රංශයේ ලියොන් නුවර ඉන්ටපොල් නුවර තියන රැස්වීමට සහභාගී වෙන්න. මාත් සමග තව නිලධාරීන් කණ්ඩායමක් යනවා. ආපහු එන්නේ අප්‍රේල් 13. පාලිත සිරිවර්ධන මහත්මයා කියන ලියුම එන්නෙ අප්‍රේල් 09.  එච්චර වැදගත් ලියුමක් යවනකොට මේ මනුස්සයා ඉන්නවද කියලා හොයලා බලන්න වගකීමක් නැද්ද කාටවත්. මුකුත් නෑ. ලියුමක් එව්වා.

මෙතන කුමන්ත්‍රණයක් තියනවා කියලා මං කියන්නේ කරුණු ඇතිව. ඒ වගේ වැදගත්නම් වහාම ක්‍රියාත්මක විය යුතු දෙයක් නම් ඒ ලියුම ලබන පුද්ගලයා රටේ ඉන්නව ද නැද්ද කියලා අපි හොයන්න ඕන නැද්ද.   මම ගියේ හොරෙන් නෙමෙයි. ගුවන්තොටුපලින් ගියෙ පොලිස්පතිගෙන් ආරක්ෂක ලේකම්ගෙන් අවසර අරන්.

මා වෙනුවට වැඩ බලන්න නිලධාරියෙක් පත් කරල ගියෙ. ඔය ලියුම එවන කට්ටිය  වැඩ බලන නිලධාරියාගේ අතටවත් යැව්වෙ නෑ. එහෙම යැව්වා නම් ඔවුන් ඒක විවෘත කරලා බලනවා.  මා නැවත කාර්යාලයට එන්නේ 16.  ඔය කරුණු අපි සියලු දෙනා පාස්කු ප්‍රහාරය ගැන පවත්වපු හැම කොමිසමකටම දැනුම් දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණයත් ඇතුළුව. ඒ කොමිෂන් එකක්වත් ඒ විමර්ශනය කළ නිලධාරින් එක් කෙනෙකුගෙන්වත් කිසිම දෝෂ දර්ශනයකට අප ලක් වුනේ නෑ.

ඒ නිසා මේ පාලිත සිරිවර්ධන මහත්මයාටත් මහේෂ් සේසානයක මහත්මයාටත් මේක මතක් වුනේ 2024 ජූනි 09 වැනිදා උදේ 10ට මේ විශ්‍රාමික පොලිස් සමූහයේ ජාතික සමුළුව පැවැත්වීමෙන් පස්සේ ද?.

මේක කියන්න ඉස්සරවෙලා 2019 අප්‍රේල් 19 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කොමිෂන් සභා 3ක් පත් කළා. හිටපු පොලිස්පතිතුමත් ඒකේ හිටියා. ඇයි ඒ කොමිසමට ගිහින් මේ දෙන්නා ඔය කතා  කිව්වෙ නැත්තේ.

දෙහිවලදී පුපුරුවා ගත් ජෙමිල් හම්බවෙන්න ගිය බුද්ධි නිලධාරීන් කවුද?

මහේෂ් සේනානයක මහත්මයගෙන් අහන්න තව කාරණාවක් තියනවා. පාස්කු ප්‍රහාරය සිදුවන දවසෙ උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරමින් තිබෙද්දි බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් යනවා ජෙමිල් කියන සියදිවි නසා ගන්නා ත්‍රස්තවාදියාගේ නිවසට.  ටාජ් සමුද්‍රා හෝටලයේ පුපුරුවා ගන්න බැරිව එයා එළියට යනවා. ඒ අවස්ථාවේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් ජෙමිල්ගෙ ගෙදරත් යනවා. එයාගෙ අම්මගේ ගෙදරත් යනවා. ගිහින් ජෙමිල් ගැන හොයනවා. ජෙමිල්  සියදිවි හානි කරගන්නේ ඊට පැය ගානකට පසුව.

මේ අය කොහොමද දන්නෙ ජෙමිල්  ගැන. නිකම්වත් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ නෑ. ඒ අයත් එක්ක ටි.අයි.ඩී එකේ නිලධාරීන් දෙදෙනෙකුත් ගියා. ඒ අය කිව්වෙත් නෑ. පස්සේ ටී.අයි.ඩී ඩිරෙක්ටර් මාරු වෙලා සති ගානකට පස්සේ ආපු අලුත් ඩිරෙක්ටර් තමයි මට කිව්වේ සර් මෙහෙම දෙයක් වෙලා තියනවා, මේක පොඩ්ඩක් හොයන්න ඕන කියලා. මම කිව්වා හොයන්න කියලා.

ඊට පස්සේ ගෙනත් ඒ බුද්ධි නිලධාරීන්ගෙන් ඇහුවාම ඒ අය කියනවා ජෙමිල් ඒ අයගේ ආවේශනයට ලක් වුන කෙනෙක් කියලා. ආවේශනයට ලක් වෙලා හිටියා නම් අප්‍රේල් 21 ප්‍රහාරය කරගන්න ජෙමිල් අප්‍රේල් 20 කොහෙද හිටියෙ කියලා ඒ ගොල්ල දන්නේ නැද්ද?. එතකොට එයා පානදුරයට ගිහින් පුපුරණ ද්‍රව්‍ය කට්ටල අරන්, බෑග් පටවාගෙන එයා මෙතනින් ටාජ් සමුද්‍රා හෝටලයට එන එක ආවේශනය කළ නිලධාරීන් දැනගෙන හිටියෙ නැද්ද?.

මොනවද මේ කතා.

ඒ බුද්ධි නිලධාරීන් අඩුම තරමින් මේක මහේෂ් සේනානායක මහත්මයටවත් කිව්ව ද?, මම නම් හිතන්නේ නෑ කියලා තියෙයි කියලා. මහේෂ් සේනානායක මහත්මයා මේ කාරණා ගැන කතා කරන්න ඉස්සරවෙලා හොයලා බලන්න තිබුණා.

හමුදා බුද්ධි අංශ සහරාන්ගේ ගෝලයා සම්බන්ධ විමර්ශන වැලැක්වීම
තව සහරාන් කළ කිට්ටුවෙන්ම ගනුදෙනු කළ බුද්ධි නිලධාරියෙක් ගැන ශානි අබේසේකර මහත්මයලා හොයාගෙන ගිහින් එයාව කොටු කරනකොට හමුදාවෙ බුද්ධි අධ්‍යක්ෂ ශානිට කතා කරලා කිව්වෙ මේක  අපේ ඔපරේෂන් එකක්. ඕකට ඩිස්ටර්බ් කරන්න එපා කියලා. මේව මහේෂ් සේනානායක මහත්මයා දන්නෙ නැද්ද. එහෙම තියෙද්දි බලංගොඩ ද කොහෙද තැනකට ගිහින් මේ වගේ වගකීමක් නැති ප්‍රකාශ කරන එක එතුමා වගේ පරිණත, ජ්‍යෙෂ්ට හමුදා නිලධාරියෙකුට ගැලපෙනවද  කියලා කණගාටුවෙන් වුනත් මට අහන්න වෙනවා.

මොකද අපි දෙන්නා බොහොම කිට්ටුවෙන් වැඩ කළා. එතුමා හමුදාපති කාළේ අපි අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවෙ හිටියෙ. අපි අතර හොඳ රාජකාරිමය සම්බන්ධයක් තිබුණා. ඒ දවස්වලවත් ඕක අපට කියන්න එපෑයැ.

පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියන සැකය අපට තියනවා. ප්‍රධාන චූදිත සහරාන්ට උඩින් හිටිය චරිතයක් ගැන අබුහිල් කියන චරිතයක් ගැන අපි විශ්වාස කරනවා. නමුත් පහුගිය කාලයේ  සමාජ මධ්‍ය හෙළිවුන තොරතුරු. දැන් අබුහිල් කියන පුද්ගලයා ගැනත් තොරතුරු එළියට ඇවිත් තියෙන්නේ.  පාස්කුවෙ කුමන්ත්‍රණය ගැන ගණනාවක් තොරතුරු එළියට ඇවිත් තියෙන්නේ.

අසාද් මව්ලානා චැනල් 4 එකේ කළ හෙළිදරව්ව ගැන පරීක්ෂා කළ යුතුයි. ඒකේ කියනවා වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේ රැස්වීමක් තිබ්බා මේ ප්‍රහාරය ගැන. ඒකට සහභාගී වුනා සහරාන්. එතෙන්ට බුද්ධි අංශ නිලධාරීන් සහභාගී වුනා කියලා කියනවා. ඉතින් මේවා ඇත්ත ද බොරුද කියලා විමර්ශනයක් කරලා තහවුරු කරගන්න ඕන.

හිටපු නීතපති තුමා දප්පුල ලිවේරා කිව්වා මේක මහා කුමන්ත්‍රණයක් තියනවා කියලා. පාස්කු ප්‍රහාරයේ ඒ මහා වින්දිත ප්‍රජාව වෙනුවෙන් මේ සම්බන්ධව සාධාරණයක් විය යුතුයි.  යුක්තිය ඉෂ්ඨ කළ යුතුයි.  අප දේශපාලනය කරන්නෙ ඒ වෙනුවෙන්.

ශානිට වෙච්චි දේ

ෙපහුගිය කාලේ මේ පාස්කුවේ ප්‍රධාන විමර්ශකයා ලෙස කටයුතු කළ ශානි අබේසේකරට  වුන දේ මොකක්ද කියන එක මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ.  ඔහු අනීතික ලෙස ස්ථාන මාරු කළා. අනීතික ලෙස වැඩ තහනම් කළා. අනීතික ලෙස අත් අඩංගුවට අරන් මාස 11ක් විශ්‍රාමය සම්පූර්ණ වෙනකම් තියාගෙන හිටියා. ඊට පස්සේ විශ්‍රාමික වැටුප නොදී හිටියා.  එය ගන්න අරගලයක් කරන්න වුනා. ඊට පස්සේ හිඟ වැටුප් නොදී හිටියා.

ශානි අබේසේකර 2020 ජනවාරි 07 වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ හිටිය ජ්‍යෙෂ්ඨම නිලධාරියා. ඊලඟ නියෝජ්‍ය පොලිස්පති තනතුරට සුදුසු වෙන්න හිටිය නිලධාරියා ශානි. ඔහුව තමයි ස්ථාන මාරු කරලා ඉන්ටර්ඩික් කරලා ඇරස්ට් කරලා මාස 11ක් රිමාන්ඩ් භාරයේ තබලා ඔහුගේ උස්ස වීම අහිමි කළේ.

දැන් ඔහු අභියාචනයක් ඉදිරිපත් කරලා තියනවා ඔහුගේ උසස්වීම 2020 ජනවාරි 07 වැනිදාට ලබා දෙන්න කියලා. මොකක් ද කිව්වේ. මටත් කතා කරලා කිව්වා. රවී, ඒ ප්‍රමෝෂන් එක අවුලක් නෑ. මොකද පොලිස්පතිතුමත් නිර්දේශ කරලා තියනවා ඒ උසස්විම දෙන්න කියලා. අර ශානි දාලා තියන එෆ් ආර් ටික අයින් කරගන්න. එතකොට ඒක ලැබෙයි කියලා. මම කිව්වා ඒකනම් ශානි අයින් කරගන්න එකක් නෑ කියලා.

ඊට පස්සේ ශානි අබේසේකරටත් කතා කරලා අඬගහලා ඒ කතාව කිව්වා. ශානි අබේසේකර එෆ්ආර්. එකක්වත් ඉල්ලා අස් කරගත්තේ නෑ.

දැන් සති තුනකට කලින් පොලිස් කොමිසමෙන් ලිපියක් එවනවා ඔහුගේ උසස්වීම ලබා දිය නොහැකියි කියලා.

ඔන්න අන්තිමට වෙච්චි දේ.

- ලංකාසර 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka