ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව ස්ථාවර තැන්පතු උගසට තබමින් සිදුකළ මහා පරිමාණ වංචාවකට අදාළව වානිජ බැංකුවක සේවයේ නියුතු සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඊයේ (12) දන්වා සිටියේය.
ඒ අදාළ බැංකුවේ ප්‍රධාන ශාඛාව මගින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරනු ලබන පරීක්ෂණයකට අදාලවය.
අදාළ පැමිණිල්ලට අනුව මේවන විට එම බැංකුවේ පිටකෝට්ටේ ශාඛාවට අනුයුක්තව රාජකාරි කරන ණය නිලධාරිනියක වන බොරලැස්ගමුවේ පදිංචි 34 හැවිරිදි චතුපමා දර්ශනී රත්නායක නමැති සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ලබන 26 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (12) නියෝග කළේය.
මෙම සැකකාරිය අදාළ වාණිජ බැංකුවේ ගිණුම් හිමියකුගේ ස්ථාවර තැන්පතු ගිණුමක් උගසට තබා රුපියල් ලක්ෂ 63 ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව එම බැංකුවේ ප්‍රධාන ශාඛාව මගින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ආරම්භ කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙම සැකකාරිය සිය සැමියාගේ මවගේ සහ ළඟම ඥාතීන්ගේ නමින් කූඨ ලේඛන සකස් කර අදාළ වාණිජ බැංකුවේ ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ ස්ථාවර තැන්පතු ඇප සුරැකුම් වශයෙන් තබා ගනිමින් මෙලෙස මුදල් වංචා කර ඇතැයි අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම වංචාවන් සිදුකිරීම සඳහා සැකකාරිය විසින් වාණිජ බැංකුවේ ණය ඇතුළත් කිරීමේ දත්ත පද්ධතියට ව්‍යාජ ලේඛන ඇතුළත් කර ඇතැයිද දන්වා සිටියේය.
කර්තෘ සටහන – මෙහි මුල් පුවතෙහි අදාළ බැංකුව මහජන බැංකුව ලෙස සටහන් වුවද, සිය බැංකුවේ එවැනි වංචාවක් සිදුවූව නොමැති බව සඳන් කිරීම නිසා එම බැංකුවේ නම ඉවත් කරන ලදී. අදාළ තත්ත්වයෙන් එම බැංකුවට හෝ කිසියම් පුද්ගලයකුට හානියක් හෝ සිත රිදවීමක් වූයේ නම් අපි හුදෙක්ම කනගාටු වෙමු.