පසුගිය 03 වැනිදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාරගේ සුඛෝපභෝගි රථයට යට වී බරපතල තුවාල ලබා යන්ත්‍ර ආධාරයෙන් පුරා දින 08ක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිහි විසඥව ගත කළ 22 හැවිරිදි තරණයා අද (11) උදේ මිය ගියේය.
හද කම්පාකරන සිදුවීම වන්නේ මහපාර බූදල් කරගත් දේශපාන මදාවියෙකුගේ සුඛෝපභෝගී රථයට යටවී හිසට බරපතල තුවාල සිදුවීම නිසා මොළය මිය යෑමෙන් මරණයට පත් වූ මේ තරුණයාගේ වකුගඩු අක්මාව ඇතුළු අවයව ජීවිතය යදින තවත් පුද්ගලයින් තිදෙනෙකුට ජීවිතය ප්‍රදානය කිරීම සඳහා දන් දීම අද රාත්‍රී 09ට පමණ සිදුවීමය. තරුණයා ජීවත්ව සිටි කාලයේ සිදුකළ කැමැත්ත ප්‍රකාශ කිරීම ප්‍රකාරව ඔහුගේ භාරකරුවන් එම උත්තම සද්කාර්යයට අවසර දී තිබේ.
අකාලයේ මරණයට පත් කළ මේ උතුම් තරුණයා තිහාරිය කළගෙඩිහේනේ පදිංචි 22 හැවිරිදි ශානුක රවිඳු ය. ඔහු යතුරු පැදි අලෙවි ව්‍යාපාරයක් ගොඩනගමින් කැපවීමකින් ජීවිතය පෙළගස්වා ගැනීමට උත්සාහ කරමින් සිටි තරුණයෙකි.
නලීන් බණ්ඩාර මන්ත්‍රිවරයා ගමන් ගත් සුඛෝපභෝගී රථය අධික වේගයෙන් ධාවනය වී ඇති බවත් වැසි සහිත අවස්ථාවේ දී එය පාලනයෙන් ගිලිහී යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් වාර්තා වේ. මන්ත්‍රීවරයා නුවර දෙස කොළඹ දක්වා ගමන් කරමින් සිට ඇත.
අවධානයට ලක් විය යුතු විශේෂ සිදුවීම වන්නේ මරණය සිදුවන මොහොත දක්වාම පොලිසිය පාර්ශවයෙන් මේ අසරණ මිනිස්සුන්ට සාධාරණයක් ඉටු වීමට ඇති ඉඩකඩ අසුරා තිබීම සම්බන්ධව චෝදනා එල්ල වීමය.
පසුගිය සතිය පුරා මාධ්‍ය අංශ ද මේ සම්බන්ධව පොලිසියෙන් විමසන සෑම අවස්ථාවකම ඔවුන් නිශ්ඡිත පිළිතුරු දීම මහරිමින් සිටින ආකාරය නිරීක්ෂණය විය.
මව අහිමි තරුණයාගේ පියා මේ වනවිට බරපතල මානසික වියවුලකට පත් වී ඇති අතර විදේශගතව සිට මේ ආරංචියත් සමග නිවසට පැමිණ ඇති සොයුරිය ද රෝගී වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන ඇත. ගහක් ගලක් සේ සිටි දරුවාගේ වියෝවෙන් මේ තාත්තා මේ වනවිට මුලුමනින්ම බිඳ වැටී සිටී
-lankasara
