විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු සිදු කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක හ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සදහන් කරයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය සඳහා විශාල වැය බරක් දැරීමට රජය කටයුතු කර ඇති බවත් එහිදී ජාත්‍යන්තර මට්ටමේ පරිසාධනය සපුරා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60ක් තෝරාගෙන ඔවුන්ට මසකට රුපියල් 50,000 බැගින් ද, තවත් තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 850ක් සඳහා මාසයකට රුපියල් 10,000 බැගින් වන දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සදහන් කරයි.
අමාත්‍ය හරින් ප්‍රනාන්දු තවදුරටත් සදහන් කළේ,
” නව ක්‍රීඩා පනත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාවන් 73ක් තිබෙනවා. ඒ සියලුම ක්‍රීඩාවන් සඳහා නව ක්‍රිකට් පනත වලංගු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා විවිධ ප්‍රචාරකරමින් ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය බිඳ දැමීමට සමහර කණ්ඩායම් කටයුතු කරමින් තිබෙනවා.
මෙවර T20ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විනය විරෝධී කටයුත්තක් සිදු කළා කියා ඇතැමුන් චෝදනා කරනවා. එම චෝදනා ඔප්පු කළහොත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්. මේ වන විට ක්‍රීඩාව දේශපාලනයෙන් මුදවා ගැනීමට කටයුතු කර තිබෙනවා. නව ක්‍රීඩා පනත හරහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටවත් කිසිඳු ක්‍රීඩා සංගමයක නිලයක් දැරීමට හැකියාවක් නැහැ.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් සිදු කරන කාර්යයක්. ඒ නිසා එම කටයුත්තට අප කිසිඳු මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මුදල් ලබාගෙන දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකියාව තිබෙන තවත් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමටද බලාපොරොත්තු වෙනවා.”
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මේ බව සදහන් කරයි.
