සෞදියේ ගෘහ සේවයට ගොස් කාමරයක සිර කරගෙන සිටින, දෙදරු මවක වන 33 වියති දිස්නා ශිරෝමි ඇයගේ මරණීය අවසානය ලඟා වෙමින් ඇති බව සිය සමීපතමයින්ට දැනුම් දී ඇත. පොළොන්නරුව දිඹුලාගල අංක 38 මහඋල්පත කාශ්‍යපපුර ගම්මානයේ සිට මීට වසරකට පෙර සෞදි අරාබියේ සකා නගරයේ නිවස කෑමක් බීමක් තබා දිය පොදක් රහිතව කිසිම වැටුපක් නොලැබ සිර වී සිටින ඇය මරණ තර්ජන සහිතව ගෙවන දවස් ගැන ලංකාවට දන්වා තිබේ.
ස්ථීර නිවසක් සහ දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගැනීමට මුදල් උපයා ගැනීමේ අරමුණින් දරු දෙදෙනා සිය මව්පියන් ලඟ තබා 2022 ඔක්තෝබර් 28 වෙනිදා කුරුණෑගල ප්‍රදේශයේ ඒජන්සියක් හරහා ඇය සෞදි අරාබියේ ගෘස සේවයට ගොස් තිබේ.
ඇය ලංකාවට දන්වා ඇති ඇයගේ පණිවිඩය මෙසේය.
මාව දැන් දවස් තුන හතරක් තිස්සේ කාමරයකට දාලා වහලා කන්ඩ බොන්ඩ දෙන්නැතුව ගහනවා… මේ ගෙදර හය දෙනෙක්ගෙ වැඩ මට කරන්න වෙලා. ඒ වැඩ කරන්න අමාරු නිසා තමයි මගේ කම්බුලට ගහලා මාව කාමරයක හිර කරලා දාලා කන්න බොන්නවත් දෙන්නේ නැත්තේ. මට ඇල්වතුරත් දෙන්නෑ.
මට මේ ගෙදර අය පඩි දුන්නෙත් නෑ. මම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. පොලිසියත් කිව්වේ වැඩිය කියවන්න එපා ගහලා හිරේ දානවා කියලා. මේ ගෙදර පිරිමි ළමයෙක් ඉන්නවා. ඒ ළමයා මාත් එක්ක හැමදාම රණ්ඩු වෙනවා. පොලිසියට පැමිණිලි කළත් වැඩක් නෑ.
මේ ගෙදර එක්කෙනෙක් පොලිසියේ වැඩ කරන්නේ. ඒ පොලිසියේ කෙනා තමයි කිව්වේ ආයෙත් ගෙදරට ගිහිල්ලා වැඩ කරන්න කියලා. ලංකාවට පෙට්ටියකින් යන්න ආසද කියලා මගෙන් ඇහුවා.
මට මේ ගෙදර අය පඩි දෙන්නේ නැහැ,. ඊට පස්සේ ඒජන්සියේ පැමිණිල්ලක් දාලා තමයි මාසිකව පඩියක් ගත්තේ. දැනට මම සෞදි අරාබියේ සකා නගරයේ ගෙදරක කන්න, බොන්න, නැතුව හිර කරගෙන ඉන්නවා, මේ ගැන මට කියන්න කවුරුවත් නෑ,.
පිරිමි හතරකුයි, ගෑනු දෙන්නෙකුගේයි, සේරම වැඩ කරන්න වෙලා තියෙන්නෙ මට. ඒවා කරන්න අමාරු හින්දා තමයි මට මේ ගෙදර අය දස වධ දෙන්නේ. මගේ කම්මුලටයි ජංගම දුරකථනයටයි එක සැරයක් පොල්ලකින් ගැහුවා. දැන් මගේ කම්මුල පැත්තක් ඉදිමෙලා බේත් නැහැ.
දවස් හතරක් තිස්සේ මේ වගේ මට කන්ඩ බොන්ඩ වතුරවත් නැතුව ඉන්නවා. මාව ඒජන්සේටවත් ගිහින් දාන්න කිව්වට පස්සේ කට්ටිය ගෙදර ගේට්ටුවයි සේරම වහගෙන කාමරේට දාලා මට නිතර නිතර ගහනවා හිරිහැර කරනවා,.’
මේ වෙන්න නියමිත මරණය සම්බන්ධව අපි මේ ආකාරයෙන් විදේශ කටයුතු ඇමතිවරයා ප්‍රමුඛ බලධාරීන් දැනුම්වත් කරමු. ජීවිත වලට මීට වඩා වැඩි වටිනාකමක් ලැබිය යුතු බව හතර අතේ චන්ද කැම්පේන් ගොස් පට්ට රටක් හදන්න යන කම්කරු ඇමති මනුෂ නානායක්කාර වෙත දන්වමු.
- මනම්පිටිය නිමල් ජයරත්න
