කොපමණ බාධා කුමණ ආකාරයකින් උද්ගත වුවත් නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීම බව අග විනිසුරු ජයන්ත ජයසූරිය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කළේය. ඒ් පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් කීපයක් ඊයේ (05)යළි විභාගයට ගත් අවස්ථාවේ දී ය.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය විජිත් මළල්ගොඩ සහ ගාමිණී අමරසේකර මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණි.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන්ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබිණි.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දක්වමින් පැවසුවේ පළාත් පාලන මැතිවරණය නියම කළ පරිදි පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගෙන තිබූ බවය.
නමුත් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීමෙන් ඇති වී තිබූ අර්බුදකාරී තත්ත්වයෙන් බේරීමට රජය මැතිවරණ කොමිසමට චෝදනා එල්ල කළ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඔහු කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල සියලු තීරණ ගනු ලැබුවේ මැතිවරණ කොමිසමේ බහුතර සාමාජිකයන්ගේ එකඟත්වයෙන් බවය. විධායකය හිතාමතා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අඩාල කිරීමට කටයුතු කළ බවට චෝදනා නැගූ ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේ පාර්ලිමේන්තුව තුළ ” ඡන්දය කල් දාලා නෑ… කල් දාන්න ඡන්දයක් නෑ.” යනුවෙන් කළ ප්‍රකාශය තුළින් විධායකය දැරූ අත්තනෝමතික ස්වරූපය මනාව පැහැදිලි වන බවය.
මෙම පෙත්සම් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබිණි. සමගි ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හැජ්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා පෙනී සිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියේ අතිරෙක් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේය.වැඩිදුර පෙත්සම් විභාගය අද 06 යළි සිදුකිරීමට නියමිතය.
