පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා වූ දින ළංවීමත් සමග දැනට පාර්ලිමේන්තුවේ සිටින විශාල මන්ත්‍රීවරුන් පිරිසක් නැවත පාර්ලිමේන්තු පැමිණීම සදහා ප්‍රධාන පක්ෂවලින් නාමයෝජනා ලබා ගැනීමේ සටනක් දියත් කොට ඇති බව වාර්තා වේ.
මේ වනවිට ජනාධිපතිවරණය ඔක්තෝබර් 05 වැනි දින පැවැත්වෙනු ඇති බවට මත පළකෙරෙන අතර ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම ප්‍රකාශ කොට ඇත්තේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ විගස පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පවත්වන බවකි.
ඒ අනුව බොහෝ දුරට මහමැතිවරණයක් පැවැත්වීම සදහා තවත් ඉතිරිව ඇත්තේ දින 114කට අඩු කාලසීමාවකි.
මේ තත්ත්වය යටතේ ඉදිරි මහමැතිවරණයේදී යළි පාර්ලිමේන්තුවට පැමිණීම සදහා මේ වනවිට ස්වාධීනව සිටින සහ විවිධ කල්ලි කණ්ඩායම්වලට එක්වී සිටින මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ප්‍රධාන පක්ෂ දෙක වන සමගි ජන බලවේගය සහ පොහොට්ටුව සමග තිරය පිටුපස සාකච්ඡා ආරම්භ කොට ඇති බව පැවසේ.
මින් විශාල ප්‍රමාණයක් සිටින්නේ පොහොට්ටුවෙන් තරග කොට මෙවර පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්ය.
එහි මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් මේ වනවිට ස්වාධීනව කටයුතු කරන අතර ඉන් බහුතරයක් දැනටමත් සමගි ජන බලවේගය සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.
සජබය, ජවිපෙ සහ පොහොට්ටුව අතර මෙවර වැඩි ආසන ප්‍රමාණයක් බෙදී යනු ඇති බවට දැනට සිදු කර ඇති මතවිමසුම්වලින් අනාවරණය කොට තිබීම නිසා මෙසේ මන්ත්‍රීවරුන් මෙම පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කිරීමට හේතු වී තිබේ.
