කක්කුස්සි වළවල් උතුරනවා...මාදිවෙල ඉන්න බෑ... මන්ත්‍රී පිරිසක් කථානායකට පැමිණිලි කරලා!
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පහසුකම් ප්‍රමාණවත් නොවන හෙයින් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධනට පසුගියදා පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස බොහොමයක් ජරාවාස වී ඇති බවත් වර්ෂා කාලයේදී සමහර නිවාසවලට ජලය පවා කාන්දුවන බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත.
වර්ෂා කාලයේදී සමහර වැසිකිළි උතුරන බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.
මන්ත්‍රී නිල නිවාසවල මන්ත්‍රීවරයකුට පවුලේ සාමාජිකයන් සමග ජීවත්වීමට ප්‍රමාණවත් ඉඩකඩක් නැති හෙයින් එම නිවාස නවීකරණය කර දෙන ලෙසට ද ඔවුහු ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ මන්ත්‍රීවරුන් රැසක් ඒ සම්බන්ධයෙන් තමාට පැමිණිලි කර ඇති බවයි.
එම නිල නිවාස සංකීර්ණයේ අඩුපාඩු නිවැරැදි කරන ලෙස තමා ඉංජිනේරුවරුන්ට උපදෙස් දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මේ කාරණය පාර්ලිමේන්තු ගෘහකාරක සභා රැස්වීමේදී ද පසුගියදා සාකච්ඡා කර ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයේ නිලධාරියකු පැවැසුවේ එම නිල නිවාස සංකීර්ණය ලොකු ප්‍රතිසංස්කරණයකට මුදල් ප්‍රතිපාදන මෙතෙක් වෙන්වී නැති බවයි.(ලංකාදීප)
කක්කුස්සි වළවල් උතුරනවා...මාදිවෙල ඉන්න බෑ... මන්ත්‍රී පිරිසක් කථානායකට පැමිණිලි කරලා!
2024-05-29T20:54:00+05:30
Gossip Lanka Hot News





