ගුජරාට් හි ත්‍රස්ත මර්දන ඒකකය (ATS) විසින් අද අහමදාබාද් ගුවන්තොටුපළේදී, ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සිව්දෙනාම ශ්‍රී ලාංකිකයන් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් අහමදාබාද් ගුවන් තොටුපළේ සිටියදී පොලිසිය විසින් ඔවුන් අල්ලා ගෙන තිබෙනවා.
ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් ඔවුන් ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන අතර මූලික විමර්ශන වලදී, ඔවුන් ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි හරහා අහමදාබාද් දක්වා ගමන් කර ඇති බව අනාවරණය කර ගැනීමට සමත්වූ බව එරට මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
මෙම සිදුවීමෙන් පසු අහමදාබාද් ගුවන්තොටුපළේ ආරක්‍ෂාව තර කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබෙන බවද සඳහන්.
අහමදාබාද් ගුවන් තොටුපළ එනම් සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පසුගිය මැයි 12 වන දින බෝම්බ ප්‍රහාරයක් පිළිබඳව තර්ජනාත්මක පණිවිඩයක් ලැබී ඇති අතර නිලධාරීන් ගුවන්තොටුපළ පරිශ්‍රයේ පුළුල් සෝදිසි මෙහෙයුමක් සිදු කිරීමට පියවර ගෙන තිබූ බව ද සඳහන් වනවා.
එමෙන්ම පසුගිය සෙනසුරාදා දින (18) රාත්‍රියේ කාශ්මීරයේ බරමුල්ලා ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදු ව ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මිය ගොස් සංචාරක යුවළක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
ඉන්දියාවේ දැනට පැවැත්වෙන ලෝක් සභා මැතිවරණයේ පස්වන අදියර සඳහා අද ජනතාව ඡන්දය ප්‍රකාශ කරමින් සිටියදී මෙලෙස ත්‍රස්තවාදීන් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පසුගිය අප්‍රේල් 19 වන දා ආරම්භ වූ මැතිවරණය ජූනි පළමුවන දා අවසන් වන අතර මැතිවරණ ප්‍රතිඵල ජූනි 4 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
-අමායා උඩුවැරැල්ල