අයි.එස්.අයි.එස් සංවිධානයේ සමාජිකයින් ලෙස ප්‍රහාරයක් සඳහා පැමැණි බවට සැක පිට අහමදාබාද් ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අතර විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයට වරදකරු වී මරණීය දණ්ඩනය නියමව සිටිය දී සිර ගෙදර තුළම මිය ගිය කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරු නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් නැමැත්තාගේ පුත්‍රයෙක් ද සිටින බව අනාවරණය වී ඇත.
අහමදාබාද් ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට ගත් සිවු දෙනා වන්නේ මීගමුව පෙරියමුල්ලේ පදිංචි 33 හැවිරිදි මොහොමඩ් නුස්රත් කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පදිංචි 27 හැවිරිදි මොහමඩ් නෆ්ර්න්, කොළඹ 13 පදිංචි 35 හැවිරිදි මොහම්මඩ් රෂ්ඩීන් සහ කොළඹ මාලිගාවත්තේ පදිංචි 35 හැවිරිදි මොහොමඩ් ෆාරිස්ය.
පොට්ට නවුෆර්ගේ පුත්‍රයා මොහොමඩ් නෆ්රන් ය. අතරමග පාසල් ගමන නවතා දැමූ නෆ්රාන් ඉන්දියාවට ගොස් රෙදිපිළි රැගෙන විත් මෙරට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
2017 වසරේ දී මැණික් හා ස්වර්ණාභරණ පනත යටතේ වු චෝදනාවක් මත ඔහුව අත් අඩංගුවට ගෙන තිබිණි. නෆ්රාන් ව්‍යාපාර කටයුතු සඳහා නිතර ඩුබායි හා ඉන්දියාවේ සංචාරය කරන්නෙක් බව ද විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇත.
අහමදාබාද් ගුවන් තොටුපලේ දී ඇත් අඩංගුවට ගැනුන මොහොමඩ් නෆ්රාන් ඇතුළු සිව් දෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී තවත් තොරතුරු රැසක් හෙළි වී තිබේ.
මීට පෙර අහමදාබාද් ගුවන්තොටුපලට ප්‍රහාරයක් එල්ල කරන බවට වූ ඊමේල් පණිවිඩයක් ඔස්සේ සිදුකළ දැනුම්දීමකට අදාලව එම පරිගණකෙයේ අයිපී ලිපිනය අනාවරණය කරගෙන කළ විමර්ශනයක් කෙළවර සැකකරුවන් අත් අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි .
අත්අඩංගුවට ගත් ශ්‍රි ලාංකිකයන් සිවු දෙනා කොළඹ සිට දින කීපයකට පෙර චෙන්නායිවෙත පැමිණ එහි දින කීපයක් ගත කර ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් අහමදාබාද් වෙත පැමිණ ඇතැයි ද ඔවුන් පසුගිය පෙබරවාරියේ දී හඳුනාගත් පකිස්ථානයේ අයිඑස්අයිඑස් නායකයෙක් ලෙස කටයුතු කරන අබු නැමැත්තා සමග එක් වී කටයුතු කර ඇතැයි ද හෙළිවන බව ඉන්දීය වාර්තා පවසයි.
සහරාන්ගේ ජාතික තව්හිද් ජමාද් හි සාමාජිකයින්වන මෙම පිරිස අහමදාබාද්හි ඒ වනවිට පැවැත්වීමට නියමිතව තිබූ අයි.පී.එල් අවසන් වටයේ තරග ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීම, භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීම, සම්බන්ධව සැලසුමක් තිබූ බව හින්දු පුවත්පත වාර්තා කර තිබිණි.
මේ සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීම සඳහා .අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාත්, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාත් ප්‍රධානකොට විශේෂ කමිටුවක් පත් කර තිබේ.
-lankasara