මෙරට පාසල් දරුවන් සඳහා බෙදා දීමට සැලසුම්කර වේයන්ගොඩ පිහිටි රජයේ ආහාර ගබඩාවේ තැම්පත්කර තිබු සහල් තොග නිසි ප්‍රමිතියෙන් තොර බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය අණාවරනය කර තිබේ.
එම සහල් තොගයේ කෘමීන් අන්තර්ගතවී ඇති හෙයින් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහන සඳහන් කළේය.
පවතින තත්ත්වය අනුව වේයන්ගොඩ ගබඩාවෙන් සහල් තොග නිකුත් කිරීම තාවකාලිකව නවතාදැමීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහන,
“දිවයින පුරා පාසල්වලට බෙදා හරින්න ලබාදීපු සහල් රජයේ වේයන්ගොඩ ආහාර ගබඩාවේ, ගබඩා කරලා තියෙනවා. මේ සහල් සම්බන්ධයෙන් ගොඩක් පැමිණිලි ඇවිත් තිබුණා. ඒ අනුව වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, රස පරීක්ෂකගේ උපදෙස් පරිදි මේ ගබඩාවේ තියෙන සහල්වල සාම්පල 1,000කට අධික ප්‍රමාණයක අරගෙන තියෙනවා. එම සාම්පලවල වාර්තා පෙරේදා වෙනවිට වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලැබිලා තියෙනවා. මේ යවපු සාම්පලවලින් 50%කට වැඩිය කෘමි හානියකට ලක්වෙලා කියලා තමා රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙලා තිබුණේ. ඒ නිසා මේ සහල් මිනිස් පරිභෝජනයට ලබාදීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා සහල් පාසල්වලට බෙදාහැරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.”
