ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයෙහි තිබූ ලිපිලේඛන රැගෙන ගොස් ඇත්තේ පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා බවට චෝදනා කළ එම පක්ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ තමන් එම ධුරයෙන් ඉවත් කර මාස නවයකට අධික කාලයක් ගතවන අතර එම කාලසීමාවේදී කිසිදු අවස්ථාවක පක්ෂ කාර්යාලය වෙත නොගිය බවද දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන්මඟ විනාශ කිරීමට උත්සාහ දරන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාර්ශ්වය නියෝජනය කරන තිසර ගුණසිංහ මහතා සිදු කර ඇති මෙම චෝදනාව පදනම් විරහිත චෝදනාවක් බවද ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ මහතා සිදුකර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදි දයාසිරි ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් සැබෑ ආදරයක් වේනම් සිදු කළ යුත්තේ පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කිරීම නොවන බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
ස්වර්ණා විජේකෝන්