හරකෙකු හොරකම් කළ පුද්ගලයෙකුට දැනට පවතින රුපියල් දහදාහේ දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කර, හරක් හොරුන් හිරේ දමමින් ඇප නොදෙන මට්ටමට පනත සංශෝධනය කර දැඩි නීති ක්‍රියාත්මක කිරීමට නව පනතක් ගෙන එන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.
ගව හිමියන්ට ප්‍රධාන බාධකයක් වන හරක් හොරුන්ට ඉහළම දඩුවම් දීමට කටයුතු කරන බවත්, දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව හරක් හොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා එම මෙහෙයුම ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා පැවසුවේය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කුඩා පරිමාණ කිරි සැකසුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ වැඩසටහන යටතේ පොලොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ, ප්‍රංශ රජයේ අරමුදල් යටතේ රුපියල් මිලියන 650 ක වියදමකින් ඉදිකරන ලද නව කිරි සැකසුම් කර්මාන්ත ශාලාව 05 වෙනිදා විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස අමතමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.
‘මම දැක්කා පත්තරේ තියනවා කිරි ලීටර් විස්ස ගත්තු වැස්සි මරලා මස් වලට ගත්ත අවස්ථා, මම නම් සලකන්නේ කිරි ගවයෙක් මරනවා කියන්නේ ඒක මිනිහෙක් මරනවා හැටියටයි. සමහර පවුල්වල ජීවිකාව ඒ හරකා වෙන්න පුළුවන්. පනත සංශෝධනය කරනකන් හරක් හොරුන්ට ඉහළම දඬුවම ලබාදෙන්න කියලා මම පොලිසියෙන් ඉල්ලා සිටිනවා. යුක්තිය මෙහෙයුමෙන් පොලිසියට ලොකු ගෞරවයක් ලැබිලා තියෙනවා. දැන් යුක්තිය මෙහෙයුම මෙහෙයවමු මේ ගවයින් ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙලට. “
“මම ඉල්ලීමක් කරනවා පොලිසියෙන් පනත සංශෝධනය කරනකම් හරක් හොරුන්ට ලබාදෙන්න පුළුවන් ඉහළම දඬුවම දෙන්න කියලා. ඒ සඳහා යුක්තිය මෙහෙයුම පෙරමුණ ගන්න කියලා මම පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. අද බොහෝ දෙනෙක් ගවයන් ඇති කිරීමෙන් වලකින්නේ බොහොම මහන්සියෙන් හදාගන්න හරකා දවසෙන් දෙකෙන් හරක් හොරුන් විසින් මස් කරන හින්දා.’ යයිද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.