ඉකුත්දා මහත් ආන්දෝලනයකට තුඩුදුන් නාරම්මල පොලීසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩිතබා මරාදැමීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාරසිරි නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන කමනි රූපිකා ප්‍රියංගනී මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළේය.
එහි වග උත්තරකරුවන් ලෙස නාරම්මල පොලීසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන, පොලිස් කොස්තාපල් කේ.එම්. චමුදිත බණ්ඩාර කුළසේකර නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන් තිදරු මවක් බවයි.
ඉකුත් ජනවාරි මස තම සැමියා ලොරියකින් ගමන් කරමින් සිටියදී “යුක්තිය” මෙහෙයුමේ නිරතව සිටි නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු මරණයට පත් වූ බවය.
මීට අදාළව සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තම සැමියා වෙඩි පහරකින් මියගිය බව අනාවරණය වූ බවත් එහි සඳහන් වෙයි.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලීසිය විසින් එල්ලකල වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාරිය වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මේ අතර එම ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරියා අද (16) දින නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2024 මාර්තු 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
අද දිනයේ දී ඝාතනය වූ පුද්ගලයාගේ වඩුමැෂිම හා ආයුධ ඔහුගේ බිරිඳ වෙත ලබාදීමට පොලීසියට නියෝග කළ අතර වෙඩිතැබීමට සම්බන්ධ සැකකරු විසින් භාවිතා කළ පිස්තෝලය, ඇඳුම්, හිස් පතොරම් කොපුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
