තම පාලනයක් යටතේ අලි මිනිස් ගැටුම පාලනය කිරිම සඳහා ගොවි ජනතාවට තුවක්කු ලබාදෙන බවත් ජනතාව සමග එක්ව වන අලින් කැලෑවට පන්නා දමන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (12) ගල්ගමුව පොල භූමියේ පැවති සමගි ජන ගොවි බලවේගය අමතමිනි. මේ අවස්ථාවට සමඟ ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එක්ව සිටියේය.
මෙහිදී අලි මිනිස් ගැටුම පාලනයට සමගි ජන ගොවි බලවේගයේ ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර වැඩිදුරටත් දැක්වූ අදහස්,
“මේ ප්‍රදේශයට තියෙන බරපතලම ගැටළුව තමයි අලි ප්‍රශ්ණේ. මේ ප්‍රදේශයේ විතරක් නෙවෙයි මේ ප්‍රදේශයේම තියෙන බරපතලම ප්‍රශ්නය අලි ප්‍රශ්ණේ. දැන් ඔබතුමාලා මෙතන ඉන්නවා, මේ හැම කෙනෙක්ම අලියගෙන් බැටකාලා තියෙනවද නැද්ද? අලියගෙන් බැටකාලා තියෙනවා.
හැබැයි ගරු නායක තුමනි මේ එහා පැත්තේ තියෙනවා කහල්ලේ පල්ලෙකැලේ වනාන්තරය. එහාපැත්තේ තියෙනවා තබ්බෝව වනාන්තරය. මේ කහල්ල පල්ලෙ කැළේටත් තබ්බෝවටත් මේ අලි ටික කොටුකරන්න කියලා කිව්වොත් මෙතන ඉන්න මිනිස්සු අර ගෝටාබය එලවන්න ආවා වගේ එනවද නැද්ද? මොකද ඒ තරම් මේ ප්‍රදේශයේ මිනිස්සු අලියගෙන් බැටකාලා තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ රජයක් යටතේ මේ අලි ප්‍රශ්නෙට ස්ථිර විසඳුමක් සමගි ජන ගොවි බලවේගය ගේනවා.
අපිට අපේ ගොවියන්ට දෙන්න ඕන තුවක්කුවක්. තුවක්කුවක් දෙන්න ඕනද නැද්ද? මොකද ඔය පල්ලෙහා වෙන පැතිවලනම් ඉන්නවා කොස්ගොඩ සුජී, රම්බොඩ අරූ කියයි මූ කියයි, පාතාලේ එවුන්. මෙහේ ඉන්නවද ඇහැටුවැව සුජී කියලා එවුන්, පාතාලේ? ගිරිබාවේ අජිත් කියලා එවුන් ඉන්නවද පාතාලේ එවුන්? අතරගල්ලෙ කොටා කියලා, මීගලෑවේ සිරා කියලා. එහෙම පාතාලේ එවුන් මෙහේ නැහැ. ඒ නිසා මේ හරියට කාට ආයුධයක් දුන්නත් ඒ ආයුධයෙන් මිනිසුස් මැරෙන්නේ නැහැ. ඒ ආයුධය පාවිච්චි කරන්නේ තමන්ගේ ගොවිතැන වෙනුවෙන් පමණයි කියන එක අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒක නිසා අපේ ගොවියට ආයධයක් එහෙම නැත්නම් තුවක්කුවක් තමන්ගේ කෘෂිකර්මාන්තය බේරාගැනීම වෙනුවෙන් අපි සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළින් දෙනවා, දෙනවා, දෙනවා දෙනවමයි කියන පොරොන්දුව මම දෙනවා. අලි එලවන්න ඕනාද? ඕනා.. එක තමයි ඇත්ත කතාව අපේ හාමුදුරුවනේ.”
