වරාය අධිකාරිය විසින් ඉකුත් 21 වැනිදා පවත්වන ලද වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ භාණ්ඩවලට රේගුව විසින් තක්සේරු වාර්තා සකස්කර නොතිබීම හේතුවෙන් රුපියල් ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ රැසක් නැවත විකිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි අනාවරණය වෙයි.
වරාය අධිකාරිය විසින් මීට පෙර අවස්ථා තුනකට වැඩි ගණනකදී ටෙන්ඩර් කර සාර්ථක ලංසු නොලැබුණු භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා රේගුවේ තක්සේරු අංශයේ විශේෂ කමිටුවක් (High Panel) මගින් වටිනාකම් තීරණය කර විශේෂ ටෙන්ඩරයක් ලෙස ඉකුත් 21 වැනිදා වෙන්දේසිය පවත්වා තිබිණි.
මෙම භාණ්ඩ සම්බන්ධව මීට මාස තුනකට පෙර විශේෂ කමිටුවක් මගින් තක්සේරු කිරීමට වරාය අධිකාරිය රේගුවෙන් ඉල්ලීමක් කර තිබුණද, මධ්‍යම අපහරණ අංශයේ හා තක්සේරු අංශයේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් ඊට අවශ්‍ය කටයුතු සිදුකර නොතිබුණු බව හෙළිව තිබේ.
යතුරුපැදි, රෙදි, ටයර්, බැටරි, තෙල් හා චොකලට් ඇතුළු භාණ්ඩ රැසක් මෙම වෙන්දේසියට ඉදිරිපත් කෙරිණි.
මෙම වෙන්දේසියට ඉදිරිපත් වූ ලංසුකරුවන් කියා සිටියේ තැන්පතු හා ටෙන්ඩර් ලියකියවිලි සඳහා විශාල මුදලක් ගෙවූ නමුත්, රේගුව විසින් භාණ්ඩ රැසකට තක්සේරු වාර්තා සකස්කර නොතිබූ බවයි. මෙලෙස වෙන්දේසියට ඉදිරිපත් කරන ලද ඇතැම් භාණ්ඩ සඳහා රේගු නිලධාරීන් වාර්තා සකස් කරන ලද්දේ පැය ගණනක් ප්‍රමාදවී බවද පසුව අනාවරණය විය.
-සාලිය කුමාර ගුණසේකර
- aruna